2023 රුසියා-අප්‍රිකා සමුළුවේදී බුර්කිනා පාසෝ රාජ්‍ය නායක කපිතාන් Ibrahim Traoréගේ ප්‍රකාශය දෙස ලොක අවධානය!

2023 රුසියා-අප්‍රිකා සමුළුවේදී බුර්කිනා පාසෝ රාජ්‍ය නායක කපිතාන් Ibrahim Traoréගේ ප්‍රකාශය දෙස ලොක අවධානය!

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් එරට අගනුවර දී 2023 ජූලි 27-28 වැනි සිකුරාදා කැඳවූ රුසියා -අප්‍රිකා රාජ්‍ය නායක සමුළුවේදී බුර්කිනා පාසෝ හි වැඩ බලන රාජ්‍ය නායක කපිතාන් Ibrahim Traoré විසින් සිදුකල අධිරාජ්‍ය විරෝධී කථාවට බටහිර මාධ්‍ය තුල විශේෂ සැලකිල්ලක් ලැබී තිබේ. විශේෂයෙන්ම යුක්‍රේනයේ සිට ධාන්‍ය ආනයන නැව් කළු මුහුදට ඇතුළු වීමේ ගිවිසුම අළුත් නොකිරීම හේතුවෙන් අප්‍රිකානු රටවලට සිදුවිය හැකි ආහාර හිඟය පිළිබඳව සාකච්ඡා කිරීමට හා අප්‍රිකානු කලාපයේ ආයෝජන හා ආරක්ෂාව යන තේමා යටතේ මෙම සමුළුව පුටින් විසින් කැඳවා තිබිණි. අප්‍රිකානු රාජ්‍ය නායකයින් 14 දෙනෙකු ඇතුළු රටවල් 49ක නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගී වී සිටියේ ඇතැම් බටහිර රටවල් හා ඇමරිකාවේ බලපෑම් ඉවත දමමින් බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබිණි.

බුර්කිනා පාසෝ රාජ්‍යය හි වැඩ බලන රාජ්‍ය නායක කපිතාන් Ibrahim Traoré විසින් සමුළුව අමතා සිදුකල කථාව ලෝක ජනමාධ්‍ය තුල විශේෂ සැලකිල්ලක් ලැබී තිබුනේ එය මෑත ඉතිහාසයේ අප්‍රිකානු රාජ්‍ය නායකයෙකු සිදු කල අන්දෝලත්මක ප්‍රකාශයක් ලෙස සලකමිනි.

ඔහුගේ කථාව මෙසේය :

ගරු රුසියානු ජනාධිපති තුමනි!පැමිණ සිටින සම්භාව්‍ය අමුත්තනි!

“මාගේ කථාවේ සඳහන් වීමට නියමිතව ඇති ඇතැම් ප්‍රකාශයන් හේතුවෙන් මෙම සභාවේ සිටින ඇතැම් පුද්ගලයින් මා සමග අමනාප විය හැකි නිසා මා මුලින්ම ඒ සම්බන්ධයෙන් අපගේ වැඩිහිටි පරම්පරාවෙන් සමාව ඉල්ලා සිටිමි. අප්‍රිකානුභාවය, අපගෙන් විය යුතු හා ලැබිය යුතු යුතුකම් හා අපගේ අතීත ඓතිහාසික බැඳීම් මෙන්ම අප්‍රිකානු මහාද්වීපය තුල අපගේ පරම්පරාගත අයිතිය සම්බන්ධයෙන් මගේ පරම්පරාවට පැරණි පරම්පරාවෙන් ඇසීමට ප්‍රශ්ණ රාශියක් ඉතිරිව ඇත. මට මගේ පරම්පරාවෙන්ද ඇසීමට ප්‍රශ්න රාශියක් තිබේ. අපි අපෙන්ම අසන ප්‍රශ්න දහසකුත් එකක් අපට ඇත. නමුත් ඒ කිසිදු ගැටළුවකට අපට මේ දක්වා පැහැදිලි පිළිතුරක් ලැබී නොමැත.

අප්‍රිකාවේ අපට පවුලක් ලෙස හැඟෙන නිසා අපට අද මෙහි අපගේම අපිරිසිදු රෙදි පිරිසිදු කර ගැනීමට පුළුවන් බව මා හට දැනේ. රුසියාවද අප්‍රිකාවට අයත් පවුලක් යන අර්ථයෙන් අපේ පවුලේ සාමාජිකයෙක් ලෙස අපට හැඟේ. රුසියාව හා සමාන ඉතිහාසයක් අපටත් තිබෙන නිසා අපි එකම පවුලක් ලෙස හඳුන්වා ගැනීම වරදක් නොවේ.

“දෙවන ලෝක සංග්‍රාම සමයේදී ලෝකය නාසිවාදයෙන් නිදහස් කර ගැනීමට රුසියාව විශාල කැපකිරීම් හා පරිත්‍යාගයන් සිදු කළේය. යුරෝපය නාසිවාදයෙන් මුදවා ගැනීම ඉලක්ක කරමින් යුරෝපීය රාජ්‍යයන් හා හමුදා නායකයින් අප්‍රිකානු ජනතාවට, අපේ මුතුන්මිත්තන් හට බලහත්කාරයෙන් හමුදා පුහුණුව ලබා දී යුරෝපීය යුධ බිමට පිටුවහල් කරනු ලැබුවා. එහෙත් අදටත් අපි, අප්‍රිකානු ජනතාව ලෝකයේ අමතක වූ ජනතාවක් බවට පත් වෙලා. යුරෝපය නාසිවාදයෙන් බේරා ගැනීම සඳහා අපේ මුතුන්මිත්තන් සිදු කල කාර්යභාරය අදටත් කිසිදු ඇගයීමකට ලක් වී නැත. රුසියාවට හා අපට පොදු වූ එම එකම ඉතිහාස අත්දැකීම් අපි සහෝදරත්වයෙන් බෙදා ගැනීමට කාලය එළඹ ඇත.

ඉතිහාස පොත්වල වේවා, වාර්තා චිත්‍රපටවල වේවා, රොමැන්ටික් චිත්‍රපටවල වේවා, නාසිවාදයට එරෙහි මෙම ඓතිහාසික සටනේදී රුසියාව සහ අප්‍රිකාව ඉටු කළ ප්‍රමුඛ භූමිකාව ඉතා ඕනෑකමින් අමතක කර දැමීමට ඔවුන් පුරුදු වෙලා සිටිනවා. අපේ ජනතාවගේ අනාගතය ගැන, හෙට විය හැකි දේ ගැන, අපි ගොඩ නැගීමට අපේක්‍ෂා කරන මේ නවීන නිදහස් ලෝකය ගැන, අපේ රටවල අභ්‍යන්තර කටයුතුවලට බාහිර විදේශ බලවතුන් ඇඟිලි නොගසන අනාගත ලෝකය ගැන කතා කරන්න, සාකච්චා කරන්න අපි අද මෙසේ මේ සමුළුවට එක් වී සිටිනවා.

”මගේ පරම්පරාව ඔවුන්ගෙන්ම අසන ප්‍රශ්න සාරාංශගත කළ හැකි නම් ඒවා මෙසේ ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි, දැවැන්ත ආර්ථික සම්පත් රාශියක් තම භූමිය තුල තබාගෙන, ජලයෙන් හා වසර පුරාවටම හිරු එළියෙන් නෑවෙන, අප්‍රිකානු මහාද්වීපය අද ලෝකයේ දුප්පත්ම මහාද්වීපය බවට පත් වූයේ කෙසේද? අප්‍රිකාව කුසගින්නෙන් පෙළෙන මහාද්වීපයක් බවට පත් වූයේ කෙසේද ? එවැනි ආර්ථික මුලාශ්‍ර අප්‍රිකාව පුරා විසිරී තිබියදීත් අපේ රාජ්‍ය නායකයෝ ලොව පුරා හිඟමනේ යන්නේ ඇයි?

මේ ප්‍රශ්න අපි අපෙන්ම ඇසිය යුතු ප්‍රශ්න, ඒවාට අපට මෙතෙක් සාධාරණ පිළිතුරු ලැබී නොමැත. මෙම සමුළුව මගින් නව සබඳතා ගොඩනඟා ගැනීමට අපට අවස්ථාව ලැබී ඇති අතර, අපගේ ජනතාවට යහපත් අනාගතයක් ලබා දීමට මෙම සබඳතා උපකාරී වනු ඇතැයි මම උදෙක්ම බලාපොරොත්තු වෙමි.

“දරිද්‍රතාවය හා කුසගින්න හේතුවෙන් මහා සාගරය තරණය කර යුරෝපයට යාමට අපට බල කෙරී ඇතැයි මේ සමුළුවට පවසන ලෙස මගේ පරම්පරාව මාගෙන් ඉල්ලා සිටියා. එහෙත් අපගේ මව්වරුන්, සොයුරු සොයුරියන් සාගරය තරණය කිරීමට ගොස් දිනපතා මිය යනවා. නමුත් ඉක්මනින්ම ඔවුන් සාගරයට යාම පසෙකලා ඔවුන්ගේ දෛනික සොච්චම් මුදල සොයා ගැනීමට උදව් වෙයල්ලා නැත්නම් බලයෙන් බැහැලා පලයල්ලා කියන්න අපගේ මාලිගා ඉදිරිපිටට පැමිණෙන දිනය වැඩි ඈතක නොවනු ඇත. අප එයට ඇහුම්කන් දිය යුතු නැත්ද? එයට පිටුපස හැරවීමට අපට හැකි වේද” ? යයි බුර්කිනා පාසෝ වැඩබලන රාජ්‍ය නායක කපිතාන් Ibrahim Traoré සමුළු නියෝජිතයන් ගෙන් ප්‍රශ්න කර සිටියේය.

“අප්‍රිකානු නායකයින් අධිරාජ්‍යවාදීන්ගේ යටි නූල්වලට නැටවෙන නිවට රූකඩයන් බවට පත් වීම නැවැත්විය යුතුයි” ඔහු අවධාරණයෙන් ඉල්ලා සිටියේය.

“සමස්ථ අප්‍රිකාවේ ආහාර ස්වයංපෝෂිතභාවය, ආරක්ෂාව හා නිදහස සාක්ෂාත් කර ගැනීමට නව හා පැරැණි පරම්පරාවේ අත්දැකීම් ලබා ගැනීමටත්, අප්‍රිකානු රටවල අතර යහපත් සබඳතා ගොඩනඟා ගැනීමටත්, අප්‍රිකානු ජනතාවගේ සියළු අවශ්‍යතා සපුරාලීම සඳහා රුසියානු සමූහාණ්ඩුව සමඟ වඩා හොඳ සබඳතා ඇති කර ගැනීමටත් අපට අනාගතයේදී සිදුවනු ඇත. ඒ සඳහා යටත් විජිතභාවයට එරෙහිව නොනවතිව සටන් කරන අපේ ජනතාවට අපි අපේ ප්‍රණාමය පුද කළ යුතුයි,” ඔහු තව දුරටත් පවසා සිටියේ සමුළුවට සහභාගී වූ සියළු රාජ්‍ය නායකයින් හා රුසියානු ජනාධිපතිවරයාද විශ්මයට පත් කරමිනි. මෙම කථාවට මේ වනවිට සෙනගාලයේ විපක්ෂ නායක ඔස්මන් සොන්කෝ සිර අඩස්සියේ තබමින් ඒකාධිපතියෙකු ලෙස හැසිරෙන එරට ජනාධිපති MACKY sallගේ දැඩි විරෝධය පලවී තිබුණි.

කළු මුහුදේ යුක්රේන ධාන්‍ය අපනයන නෞකා නතර වීමෙන් ඇතිවී තිබෙන අර්බුදය අවසන් වන තුරු අප්‍රිකානු රටවල් 6කට ධාන්‍ය වර්ග නොමිලේ ලබා දීමට ගත් තීරණය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට ස්තූති කිරීමට ද කපිතාන් Ibrahim Traoré අමතක නොකළේය. “රුසියාවේ මෙම පියවර සම්බන්ධයෙන් සතුටු වන අතර ඒ සඳහා අපි ඔබට ස්තූතිවන්ත වෙමු,” යයි ඔහු අවසාන වශයෙන් සමුළුව අමතා පවසා සිටියේය.

1988 දී බුර්කිනා පාසෝ රාජ්‍යයේ Bondokuy නම් ග්‍රාමයේ හි උපත ලද කපිතාන් Ibrahim Traoré 2022 සැප්තැම්බර් 30 වන දින සිදු කල හමුදා කුමන්ත්‍රණයකින් ලුතිනන් කර්නල් Paul-Henri Sandaogo Damiba බලයෙන් පහ කර එරට බලය ලබා ගත්තේය. පසුව ඔහු ආරක්ෂාව සහ ප්‍රතිසංස්කරණය සඳහා නම් වූ දේශප්‍රේමී ව්‍යාපාරය((MPSR) පිහිටුවා එමගින් එරට පාලනය කරනු ලබනුයේ වැඩ බලන ජනාධිපතිවරයෙකු ලෙසය. 34 හැවිරිදි කපිතාන් Ibrahim Traoré ලොව ලාබාලතම රාජ්‍ය නායකයා ලෙස සැලකේ. 2023 ජනවාරි 23 දා ඉස්ලාම් ත්‍රස්තවාදීන් මර්දනය කිරීම සඳහා යයි පවසමින් එරට රඳවා සිටි ප්‍රංශ විශේෂ බලකා සෙබළුන් 400 දෙනා ඉවත් කර ගන්නා ලෙස කපිතාන් Ibrahim Traoré විසින් ප්‍රංශ ජනාධිපති මැක්‍රෝන් හට බල කරන ලදී. ඉන් පසුව බුර්කිනා පාසෝ රජය උතුරු කොරියාව, ඉරානය, චීනය හා රුසියාව සමග සම්බන්ධතා තර කරගනු ලැබීය.

අධිරාජ්‍යවිරෝධියෙකු හා පැනා-අප්‍රිකානුවාදියෙකු ලෙස කපිතාන් Ibrahim Traoré අප්‍රිකාවේ තරුණ ප්‍රජාව අතර මේ වන විට ගෞරවාදරයට පත් වී ඇත.1987 දී බුර්කිනා ෆාසොහි දී මරා දැමු ජනාධිපති කපිතාන් තෝමස් සංකාරාගේ නැවත පුනරුත්පත්තියක් ලෙස සලකමින් බුර්කිනා ජනතාවද තරුණ කපිතාන්වරයා වටා වේගයෙන් ඒක රාශි වෙමින් සිටින බවද එරටින් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn