බංග්ලාදේශ කණ්ඩායම සිය ක්‍රිකට් ඉතිහාසය වෙනස් කරමින් ඉන්දියාවට එරෙහිව ප්‍රථම තරගාවලි ජය මේ වනවිට ලබා සිටී. ඒ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 2-0ක් ලෙසය. පසුගිය 21 වැනිදා පැවැති දෙවැනි තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු හයක් ජයක් ලැබූ අතර පළමු එක්දින තරගයෙන් ලකුණු 79ක ජයක් ලැබීමට සමත් විය. බංග්ලාදේශ කණ්ඩායම එක්දින තරගයකදී ඉන්දීය කණ්ඩායම පරාජය කළ පස්වන අවස්ථාව මෙය වන අතර පළමු තරගාවලි ජයද වේ.
වර්ෂාව හේතුවෙන් දෙවන තරගය පන්දුවාර 47කට සීමා වු අතර පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල ඕවර 45 කට ලකුණු 200 කට සීමා කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් විය. ලකුණු 200ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 38කදී කඩුලු 4ක් පමණක් දැවී එම ඉල්ලකය පසු කිරීමට සමත් විය.
මෙම තරගාවලියේදී ලෝක වාර්තාවක් තැබීමටද බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් එක්දින වරම් දිනා සිටින 19 හැවිරිදි වමතින් වේග පන්දු යවන මුෂ්ටාෆිෂුර් රහමන් සමත් වී සිටී. ඒ තමන් සහභාගී වු පළමු හා දෙවන එක්දින තරගවලදී පන්දුවෙන් දස්කම් දක්වමිනි. පළමු එක්දින තරගයේදී ලකුණු 50 කට කඩුලූ 5 ක්ද දෙවන එක්දින තරගයේදී ලකුණු 43 කට කඩුලූ 6 ක් දවා ගැනීමටද සමත් විය.
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම පසුගිය ලෝක කුසලානයෙන් අනතුරුව මේ වනවිට සීඝ්‍ර සංවර්ධනයක් ලබා සිටින අතර පසුගියදා පකිස්තානය සමග පැවැති එක්දින තරගාවලියේදී හා ටෙස්ට් තරගාවලියේදී විශිෂ්ඨ දක්ෂතා දැක්වීමට සමත් විය.
දිවා – රාත්‍රී තරගයක් ලෙස අද (24) ඉන්දියාව සමග අවසන් එක්දින තරගය මේ වනවිට පැවැත්වෙන අතර පළමුවෙන් පන්දුවට පහර දෙන ඉන්දියානුවන් මේ වනවිට පන්දුවාර 36කදී කඩුලු 3ක් දැවී ලකුණු 200ක් ලබා සිටී. 








