පසුගිය 16 වෙනිදා අවසන් වනවිට ඩෙංගු අධි අවදානම් කළාප 67ක් හඳුනා ගෙන තිබූ අතර මෙම වර්ෂයේ මුල් කාලය තුළ වේගයෙන් රට පුරා ව්‍යාප්තවීම පිළිබඳව බීබීසී සිංහල වෙබ් අඩවිය කරුණු රැසක් හෙළිකර තිබේ.
එම විමර්ශනාත්මක ලිපිය සම්පූර්ණයෙන්ම උපුටා ගෙන පහත පළ කෙරේ.
වසරේ පළමු මාස 6 අවසන් වීමට පෙර ශ්‍රී ලංකාව ඩෙංගු රෝගීන් 50,000 සීමාව ඉක්මවා යයි ද?

ඩෙංගු රෝගය මේ වන විට වසංගත තත්ත්වයක් බවට පත්ව තිබෙන නමුත්, එය බරපතල වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීම වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.
බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වෛද්‍ය නිලධාරී ඉන්දික වීරසිංහ පැවසුවේ ජුනි 20 දින වනවිට මෙරටින් ඩෙංගු රෝගීන් 46,200ක් වාර්තා වී ඇති බවයි.
මෑත ඉතිහාසයේ වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව
මෑත ඉතිහාසය ගත්කල ලංකාවෙන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ 2017 වසර තුළ දී ය.
“එම වසරේ දී ඩෙංගු රෝගීන් 186,000ක් වාර්තා වුණා,” වෛද්‍ය ඉන්දික වීරසිංහ පැවසුවේ ය. “ඒ වගේම 2019 වසරේ දී රෝගීන් 105,000ක් ඉක්මවා වාර්තා වුණා.”

ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ යෑමට හේතු වූ කරුණු මොනවා ද ?
ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළගොස් ඇත්තේ, මෙම වසරේ ආරම්භයත් සමග පවතින වැසි තත්ත්වය සහ නව ඩෙංගු කාණ්ඩයක සක්‍රීය වීම හේතුවෙන් බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.
“දැන් සොයා ගෙන තිබෙනවා රට තුළ ඩෙංගු තුන්වන කාණ්ඩයේ සක්‍රීය වීමක් තිබෙන්නේ කියලා. මොකද 2022 වසර අවසන් භාගය වෙනකම් පසුගිය දශක කාලයක් පුරාවට රටේ පැවතුනේ ඩෙංගු දෙක කියන කාණ්ඩය. නව කාණ්ඩයේ සක්‍රීය වීමත් සමග එයට විරුද්ධව මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ මට්ටම නොමැති වීම නිසා ඩෙංගු රෝග ලක්ෂණ පහළවෙනවා. වෛරස් කාණ්ඩය වෙනස් වීමත් එක්ක රෝගීන් වාර්තා වීම ඉහළ යනවා,” වෛද්‍ය වීරසිංහ ප්‍රකාශ කළේ ය.
“සෞඛ්‍ය අංශවලට පමණක් මේක කරන්න බැහැ. පැවති අනෙක් කාරණා එක්ක මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමේ වගකීම ජනතාවගේ අතිනුත් ගිලිහීගොස් තිබෙනවා.”
වාර්තා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව කොපමණ ද?
ජුනි 20 දින වනවිට මෙරටින් ඩෙංගු වෛරසය ආසාදනයවීම නිසා සිදුවූ මරණ 27ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ සහ ජාතික ඩෙංගු මර්ධන ඒකකය බීබීසී සිංහල සේවයට තහවුරු කරන ලදී.
“දැනට පුද්ගල මරණ සංඛ්‍යාව පසුගිය වසරවලට සාපේක්ෂව අඩු වීමක් පෙන්නුම් කරනවා. ඒකට හේතුව තමයි, රෝගීන් වාර්තා වීම වැඩි වුණත් සංකූලතා ඇතිවීම අඩුවීම හරහා, තත්ත්වය පාලනයකර ගැනීමට වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉතා හොද කාර්යයක් ඉටු කරනවා වෛරසය වැළදුණු රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම තුළින්,” රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ පැවසුවා ය.
කෙසේ නමුත්, ශ්‍රී ලංකාව තුළ පළමු මාස හයක කාලසීමාවේ දී ඩෙංගු රෝගීන් 50,000කට ආසන්න වීම ගෝලීය තත්ත්වයක් බව රාජ්‍ය අමාත්‍ය අරඹේපොළ පවසයි.
“මේකත් ලෝක තත්ත්වයක්. ඇත්තටම පේරූ රට පසුගිය සතියේ දී හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළා කොවිඩ්වලින් පස්සේ.”
“ලෝකයේ ඩෙංගු පවතින රටවල මේ සැරේ ප්‍රවණතාවයක් තියෙනවා ඩෙංගු රෝගීන් වැඩි ප්‍රමාණයක් වාර්තා වීමේ. ඒකට හේතුව තමයි, දැන් අපි ගොඩක් සංචරණ සීමාවලනේ හිටියේ. එතකොට ඩෙංගු ප්‍රමාණය ගොඩක් අඩුවෙන්න පුළුවන්. මොකද ඩෙංගු රෝගය වැළඳුණු රෝගියෙක්ව මදුරුවෙක් දෂ්ඨ කරලා, ඒ මදුරුවා ගිහිල්ලා නිරෝගී පුද්ගලයෙක්ට දෂ්ඨ කළොත් නේ රෝගය බෝවෙන්නේ. නිකම්ම මදුරුවා දෂ්ඨ කළා කියලා වෛරසය බෝවෙන්නේ නැහැ. ඉතින් එහෙම රෝගියෙකුට දෂ්ඨ කරන මදුරුවෙකුට පුළුවන් තවත් නිරෝගී පුද්ගලයින් බොහෝ දෙනෙකුට දෂ්ඨ කරන්න.”
“දැන් අපේ එකතුවීම් වැඩියි, පාසැල් එහෙම ආරම්භවෙලා තියන නිසා කොවිඩ් වසංගතයෙන් පස්සේ එන අවුරුදුවල ඩෙංගු වෛරස ව්‍යාප්තියේ වැඩිවීමක් පෙන්නුම් කරන්නේ,” රාජ්‍ය ඇමැතිවරිය පැවසුවා ය.
අභියෝගයක් ද ?
වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් බොහෝ සංඛ්‍යාවක් වාර්තාවීම අභියෝගයක් බව, අප නැගූ පැනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍ය අරඹේපොළ පැවසුවාය.
“රෝගීන් ගණන ඉහළ ගියොත් වෛද්‍යවරුන්ට එය පාලනය කර ගැනීමට සහ අවශ්‍ය පරීක්ෂණ සිදුකර ගැනීමට ගැටලුසහගත තත්ත්වයක් ඇතිවනවා. එය අනතුරක් සේ දැකලා, ඒ සඳහා ඉක්මනින් ගත යුතු ක්‍රියාමාර්ග ගන්න රජය විසින් කමිටු පත් කරලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙන්නේ. මේක අභියෝගයක් වෙනවා රෝගීන් වාර්තා වීම ඉහළගොස් රෝහල් ගතවන සංඛ්‍යාව වැඩිවීම තුළින්,” ඇය කියා සිටියි.
“දැනට මේ වසරේ ඇතිවී තිබෙන තත්ත්වය අභියෝගයක් වුනත් රෝගීන් වාර්තා වීම පාලනය කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටිනවා,”යි පැවසූ රාජ්‍ය අමාත්‍යවරිය, “දැනට ගෝලීයව පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය මත ඩෙංගු වෛරසය අඩංගු මදුරුවෙක් තුළ වෛරස ඝනත්වය ඉහළ යාමේ හැකියාවක් ද පවතිනවා”යි සඳහන් කළා ය.
‘ඉදිරිය ගැන අනාවැකි කියන්න බැහැ’
දැනට මෙරට තුළ ඩෙංගු රෝගීන් වාර්තාවීමේ සම්භාවිතාව අනුව වසර අවසානය වන විට ඩෙංගු රෝගීන් වාර්තාවීමේ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට පුරෝකථනය කළ නොහැකි බව ද ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වෛද්‍ය නිලධාරිවරයා පැවසුවේය.
“අපි කරන ක්‍රියාකාරකම් එක්ක තමයි ඩෙංගු රෝගය පාලනය කර ගන්න පුළුවන් වෙන්නේ. අපි අත්හැරලා දැම්මොත් රෝගීන් වාර්තා වීම ඉහළ යෑමට පුළුවන්. නමුත් අපි දැන් අපේ ක්‍රියාකාරකම් තීව්‍ර කරලා තියෙනවා,”යි පැවසූ වෛද්‍ය වීරසිංහ, “අපි කොතරම් සක්‍රීයව ඩෙංගු රෝගය පාලනය කරනවාද කියන එක තුල තමයි මේ සියල්ල රඳා පවතින්නේ,”යි ද කරුණු පැහැදිලි කළේ ය.

ලංකාව තුළ ඩෙංගු ඉතිහාසය
ඩෙංගු රෝගය ශ්‍රී ලංකාවේ වාහක රෝග අතර ප්‍රධාන ස්ථානයක් ගනියි. පළමු වරට රසායනාගාර පරීක්ෂණ මඟින් ඩෙංගු රෝගය බවට තහවුරු කරන ලද රෝගියකු මෙරටින් වාර්තා වූයේ 1962 වසරේ දී ය.
ඩෙංගු වසංගත තත්ත්වයක් පළමුවරට වාර්තා වූයේ 1965-1966 වසරවල දී වන අතර, ඩෙංගු රක්තපාත රෝගීන් කිහිපදෙනෙකු පමණක් මේ අතර සිටින ලදී.
වෛද්‍ය පර්යේෂණ ආයතනය මඟින් සිදු කරන ලද පර්යේෂණවලට අනුව 1970 හා 1980 දශකවල ඩෙංගු රෝග ව්‍යාප්තිය නොකඩවා සිදු වී ඇති අතර වසංගත තත්ත්වයන් ද යම් යම් කාල වකවානු තුළ හටගෙන ඇත.
පළමුවරට ඩෙංගු 3 වෛරස් කාණ්ඩය හේතුවෙන් ඩෙංගු රක්තපාත හා ඩෙංගු කම්පන තත්ත්වය සහිත වසංගත තත්ත්වයක් 1989- 1990 දී වාර්තා විය.
ඩෙංගු 3 වෛරස කාණ්ඩය ලංකාවේ සංසරණය වී වසර ගණනාවකට පසුව පළමුවරට මෙවැනි තත්ත්වයක් ඇතිවූයේ ඩෙංගු 3 වෛරස් කාණ්ඩයේ සිදුවූ ජානමය වෙනස්කමක් හේතුවෙන් බවට ද අනුමාන කෙරෙයි.










