ගෘහ සේවිකාවන් සම්බන්ධයෙන් පැවැති නීතියත් අභාවයට යන්න ඉඩහැරලා – නීතිඥ ධනුෂ්කි ලියනපටබැඳි

ගෘහ සේවිකාවන් සම්බන්ධයෙන් පැවැති නීතියත් අභාවයට යන්න ඉඩහැරලා – නීතිඥ ධනුෂ්කි ලියනපටබැඳි

නිදහස ලැබීමට කලින් ගෘහ සේවිකාවන් බලපාන ආඥා පනතක් තිබි ඇති බවත් එවැනි නීතියක් ප‍්‍රයෝජනයට නොගැනීමෙන් මේ වනවිට එම නීති අභාවයට ගොස් ඇති බවත් බලධාරීන් හම නීති අභාවය යාමට ඉඩ හැර ඇති බවත් ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් සංවිධානයේ ලේකම්, නීතිඥ ධනුෂ්කි ලියනපටබැඳි ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළාය.

බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති එම මාධ්‍ය හමුවේදී ඇය දැක්වූ සම්පූර්ණ අදහස් පහතින් දැක්වේ,

“ගෘහ සේවිකාවන් අවශ්‍ය කරන පවුල් වෙනුවෙන් විශාල කාර්යභාරයක් මේ කාන්තාවෝ ඉටු කරනවා. නමුත්, ගෘහ සේවිකාවන් ආවරණය වන කිසිම නෛතික තත්වයක් ලංකාවේ මේ වෙන කොට බලාත්මක වෙන්නේ නැහැ. කම්කරුවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් බලාත්මක වන ප‍්‍රබල නීති තිබුණත්, ගෘහ සේවිකාවන් සම්බන්ධයෙන් අවම නීතිවත් නැහැ. නිදහස ලැබීමට කලින් මේ අයට බලපාන ආඥා පනතක් තිබිලා තිබුණත්, එවැනි නීතියක් ප‍්‍රයෝජනයට ගන්නේ නැත්නම්, අභාවයට යනවා. ලංකාවේ තිබෙන්නෙත් එවැනි අභාවයට ගිය නීතියක්. ඒ අතර කම්කරු විනිශ්චය සභාවලට රැගෙන එන වැටුප් ප‍්‍රශ්නවලට අදාළ ගැටලුවලට විතරක් සීමාවී තිබෙනවා.

ලංකාවත් ඇතුළත්ව ජාත්‍යන්තර වශයෙන් දෙදහස් එකොළහේ දී ලෝක කම්කරු සංවිධානය විසින් සමීක්‍ෂණයක් සිදු කර ගෘහ සේවිකාවන් සම්බන්ධ දියුණු නීතිරීති පද්ධතියක් යෝජනා කර තිබුණා. දවසකට වැඩ කළ යුතු කාලය, නීඳාගත යුතු කාලය, ලිඛිතව පත්වීම් ලිපියක් දීම සහ පැවරෙන වැඩකටයුතු නිශ්චය කිරීම, අවම වැටුපක් නියම කිරීම, අසනීපවලදී ක්‍රියා කළ යුතු ආකාරය සහ ඡන්දය දීමේ අයිතිය ගැනත් අවධානය යොමු කර තිබෙනවා. ලංකාවේ රජය තවමත් මේ නීති ගැන කිසිම අවධානයක් යොමු කර නැහැ. මේ නිසාම බදියුදීන් ඇමැතිවරයාගේ නිවෙසේ මෙහෙකාරියක ලෙස යොදා ගත් දැරිය මිය යාම සම්බන්ධයෙන් තවමත් මූලික පරීක්‍ෂණ සිදු කරගෙන යනවා. අධිචෝදනා පත‍්‍ර ගොනු කර නැහැ. ගෘහ සේවිකාවන්ට නෛතික ආරක්‍ෂාවක් සැලැසෙනවා කියන්නේ ඒ සේවය ලබා ගන්නා ගෘහමූලිකයන්ගේ ප‍්‍රශ්න අඩු වෙනවා කියන එකයි. නමුත්, මේ අයගේ මානුෂික අවශ්‍යතා ගැන අවධානය යොමු කිරීම විශාල වශයෙන් අවශ්‍යයි.

විදේශගත වන අයට පුහුණුවක් වාගේම ඒ රටවල නීතිරීති ගැනත් මූලික අවබෝධයක් ලබා දිය යුතුයි. වැලිකඩ පොලිසියේ දී මියගිය රාජ්කුමාරි සම්බන්ධයෙන් මූලික පරීක්‍ෂණයේදී හෙළි වී තිබෙන්නේ පොලිසියේ ලිඛිතව කිසිදු සටහනක් නැති බවයි. මේ සම්බන්ධයෙන් පැමිණිල්ල ගොනු කිරීම, ඇය අත්අඩංගුවට ගැනීම, පොලිසිය තුළ ප‍්‍රශ්න කිරීම සහ රෝහල්ගත කිරීමෙන් පසු මිය යාම සම්බන්ධයෙන් සිදුවීම් පෙළ තුළ ගැටලූ ගණනාවක් පවතිනවා. පොලිස් අත්අඩංගුවේ සිටි කෙනකු රෝහල්ගත කරනවා නම්, මහෙස්ත‍්‍රාත්තුමාට දන්වන්න ඕනෑ. රාජ්කුමාරි සම්බන්ධයෙන් චූදිතයන් වී සිටින පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කළ යුතු වුවත්, තවමත් එවැනි පියවරක් ගෙන නැහැ. මේ සම්බන්ධයෙන් නීතියේ සාධාරණත්වය ඉටු කරන ලෙස අපි බල කර සිටිනවා.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්