ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රනිල් වික්‍රමසිංහ, නන්දලාල් වීරසිංහ පාලනය ලබා දී ඇති නියෝග අනුව මෙම වර්ශයෙන් මුල් කාර්තුව තුළ රජයේ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 782ක් ඉක්මවා තිබුණත් සත්‍ය වශයෙන්ම උපයාගෙන ඇත්තේ රුපියල් බිලියන 316ක් වන අතර මේ පිළිබඳව මූල්‍ය අරමුදල කලබලයට පත්වී ඇති බව පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක ශාන්ත ජයරත්න පල කර ඇති ලිපියකින්, පසුගිය දා මෙරටට පැමිණි මූල්‍ය අරමුදලේ මෙරට ව්‍යාපෘතිය භාර ප්‍රධානියා පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාව උපුටා ගනිමින් කරුණු රැසක් හෙළි කර ඇත. එම ලිපිය පහත දැක්වේ.
“පීටර් බෘවර්ගේ ඇයි මේ කලබලේ…
පීටර් බෘවර් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලංකාවේ රජය සමග සාකච්ඡා මෙහයවන ප්‍රධාන නිළධාරියා. ඔහු සහ තවත් පිරිසක් දැනට දින කිහිපයකට කලින් කලබලේ ලංකාවට එනවා. ඔවුන් රජය සමග මේ දිනවල සාකච්ඡාවක් ආරම්භ කොට තිබෙනවා. ඒ අතර ඔවුන් විපක්ෂය, සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති නිළධාරීනුත් මුණගැහෙනවා. එහෙම සාකච්ඡා කලා කියලා IMF වැඩසටහනේ එක ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් වෙන්නේ නැහැ. ගිවිසුම් ගත වූවාට පසු IMF ප්‍රතිපත්ති වෙනස් කළ අවස්ථාවක් 1950 න් පසු මා අසා නැහැ. එසේනම් මෙවර පීටර් බෘවර් අපි කෙරෙහී අනුකම්පා කොට ගිවිසුම වෙනස් කරාවිද?
පීටර් බෘවර් ඇත්ත කියයි. ආණ්ඩුව කළ බල වෙයි.
පීටර් බෘවර් සහ අනෙකුත් නියෝජිතයන් පෙරෙයිදා කොළඹ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූවා. එහිදී පීටර් බෘවර්ගෙන් මාධ්‍යවේදියෙක් මෙසේ විමසනවා.
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ලංකාවේ රජයට ආදායම් ඉලක්ක ලබා දී තිබෙනවා. පවතින වාර්තා අනුව රජය එම ඉලක්ක සපුරා නැහැ. ඒ පිළිබඳව ඔබගේ අදහස කුමක්ද ?”
පීටර් බෘවර් මෙසේ පිළිතුරු දෙනවා.
“ඔව්. අපගේ මෙම පැමිණීමේ හේතුවත් (Purpose of our coming) ඒක තමයි. අපි ඒ ගැන සාකච්ඡා කරනවා. අපිට මේ ගැන වැඩි විස්තර ඔබට පසුව දැණුම් දීමට හැකි වෙයි” IMF press briefing Sri Lanka:
https://imf.org>videos>view
රජය මගහැරිය IMF කොන්දේසිය
IMF වැඩසටහන සහ 2023 රජයේ අයවැය යෝජනා අනුව 2023.12.31 වන විට ලංකාවේ අපේක්ෂිත සමස්ත ආදායම රුපියල් බිලියන 3415 ක්. ඉන් වැඩිම කොටස බලාපොරොත්තු වන්නේ බදු වලින්. ඒ අනුව අපේක්ෂිත බදු ආදායම රුපියල් බිලියන 3130 ක්. මින් ඔබට අවබෝධ වෙනවා ඇති බදු ආදායම හැරුණු විට අන් සියළු ක්ෂෙත්‍ර වලින් 2023 වර්ෂයේ රජයට ලැබෙන්නේ රුපියල් බිලියන 300 ක් වැනි සාපේක්ෂව ඉතා අඩු මුදලක්. එසේනම් රජයේ ප්‍රමුඛ කාර්ය විය යුතු වන්නේ කුමක්ද? හැකි තාක් තම ආදායම් බදු දෙපාර්තමේන්තුව කාර්යක්ෂම කාර්‍යකෂම කොට බදු එකතු කර ගැනීම නොවේද ? https://www.treasury.gov.lk>budget-2023
අපේක්ෂිත ආදායම එකතු නොවූ පළමු කාර්තුව
IMF වැඩසටහනට අනුව, බදු කාර්තු හතර අවසානයේ එකඟ වූ ආදායම නොළැබුණහොත් අනෙකුත් සියළු කටයුතු අර්බුදයකට යෑම නොවැළැක්විය හැකියි. එසේනම්, අපේක්ෂිත ආදායම පළමු කාර්තුවේ රුපියල් බිලියන 782.5 ක් හෝ ඊට ආසන්න මුදලක් උපයා ගත යුතු වෙනවා. ඉන් පසු කාර්තු තුනේදි අවශ්‍ය ගැලපීම් කරගත හැකි යි. එහෙත් 2023 පළමු කාර්තුවට (ජනවාරි – මාර්තු) රජය එකතු කරගෙන තිබෙන්නේ රුපියල් බිලියන 316ක් පමණයි. එය අපේක්ෂිත ආදායමෙන් 40% ක්. ඒ අනුව 60% ක් පමණ වන විශාල ආදායම් පරතරයක් රජය පියවා ගන්නේ කෙසේද ?
https://www.newswire.lk>2023/04/25>income-tax-first-quarter-update-from-ird
සියඹලාපිටිය සඟවන ඇත්ත මෙන්න
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සහ මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය වැනි අය මෙම බදු ආදායම 2022 පළමු කාර්තුවට සාපේක්ෂව 216% ක වර්ධනයක් ලෙස අතිශයෝක්තියකින් ප්‍රකාශ කරනවා මම මාධ්‍යයේ දැක්කා. ඊට අමතරව මෙවර බදු දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන්ට ස්තුතිය පල කොට ලිපියක් පවා නිකුත් කොට තිබුණා. එහෙත් ඔවුන්ට සැබෑ ලෙසම සතුටු විය හැකිද? ඔවුන් මෙහිදී එක් දෙයක් නොකියා සිටීමට වගබලාගන්නවා. ඔවුන් පළමු කාර්තුවේදී උපයාගෙන තිබෙන්නේ අපේක්ෂිත ආදායමෙන් 40% ක් බව කිසි විටෙක කියන්නේ නැහැ. එමනිසා, රජය මෙවරත් IMF රවට්ටන්න උස්සාහ කරනවා කියා පීටර් බෘවර් කල බල වුනා වෙන්න බැරිද?
18 වෙනි පාරටත් IMF යන්න වෙයිද
IMF වැඩසටහන සකස් වන්නේ ලංකාවේ මුදල් අමාත්‍යාංශය ඔවුන්ට ලබා දෙන දත්ත මත පදනම්වයි. පෙර වතාවන් වලත් වැරැදි දත්ත ලබා දී IMF රැවටූ වාර කිහිපයක්ම තිබෙනවා. අවසානයේ අතරමග වැඩසටහන නවතා රජය ඉන් ඉවත් වෙනවා. එමනිසා 2023 සැප්තැම්බර් මාසය වන විට මේ සියළු අඩුපාඩු සකස් කරගැනීම රජයේ ප්‍රමුඛ කාර්යක් වෙනවා. මොකද දෙවන වාරිකය නිදහස් කිරීමට පෙර අදාළ කොන්දේසි සැපිරිය යුතු වෙනවා. රජය ඒ සඳහා ප්‍රමාණවත් උස්සාහයක් ගන්නවා ද? රජය වෙනත් දේවල් කෙරෙහී වැඩි ප්‍රමුඛතාවයක් දක්වන බව පේන්නට තිබෙනවා. එය දකින පීටර් බෘවර් කල බල වූවා වන්නට බැරිද?
න්‍යායට පටහැනි බදු ගහන එකම රට
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පලකල පුවත් පත් දැන්වීම් වලට අනුව 2023 වැඩිම ආදායමක් උපයා ගෙන තිබෙන්නේ වැට් (VAT) බද්දෙන්. එය 2022 පළමු කාර්තුවේදී රුපියල් මිලියන 60,679 වන විට 2023 පළමු කාර්තුවේ වාර්තා ගත ලෙස එය මිලියන 113,578 ක් දක්වා වැඩ්වී තිබෙනවා. එය 87.15% වර්ධනයක්. ඉන් අදහස් වන්නේ ඔබගේ ජීවන වියදම විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවයි. ඔබගේ ආදායමින් වැඩි ප්‍රතිශතයක් ඔබ වැයකොට ඇත්තේ පරිභෝජනය සඳහා බව මින් පැහැදිලියි. ඉන් පසු වැඩිම බදු ආදායමක් ලබාගෙන තිබෙන්නේ සමාජ ආරක්ෂන දායකත්ව බද්ද (SSCL) හරහායි. එය රුපියල් මිලියන 39,204 ක්. මෙම බද්ද ඉතා අසාධාරණ වක්‍ර බද්දක් බව බදු විශේෂඥයන් රජයට පෙන්වා දී තිබෙනවා. එය 2.5% ක් ලෙස සඳහන් වුවත් අවසානයේ එය 7%-9% වැනි මට්ටමකට ඉහළ යනවා. මෙය බදු න්‍යායට පවා සම්පූර්ණයෙන්ම පටහැනි බද්දක්. https://www.sundaytimes.lk>online>news-online>FEATURE-Taxes-and-the-tax-policy-of-the-country/2-1141007
උපයන විට බද්ද (PAYE) මගින් 2022 පළමු කාර්තුවේදී ලබා තිබෙන ආදායම රුපියල් බිලියන 4,674 ක්. එහෙත් 2023 පළමු කාර්තුවේ රුපියල් මිලියන 25,577 ක බදු ආදායමක් උපයාගෙන තිබෙනවා. එය 446.61% ක ප්‍රතිශතයක වැඩි වීමක්. මෙයින් පැහැදිලි වන්නේ මාසික ආදායම් ලබන රාජ්‍ය සහ පෞද්ගලික සේවකයින්ගේ වැටුප සහ අනෙකුත් ආදායම් වලින් අයකරගත් සෘජු බද්දක්. එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යෝජනා කරන ධන බද්ද (Wealth Tax) ක්‍රියාත්මක වන්නේ 2025 දී. එය 2023 සිට ක්‍රියාත්මක කිරීමට අපහසු නම් 2024 හෝ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම රජයේ වගකීම වෙනවා. එහෙත් එවැනි සූදානමක් නැහැ. මේවා දකින පීටර් බෘවර් කල බල නොවී ඉඳියිද?
4වන කාර්මික විප්ලවය ගැන සිහින දකිමු
2022 ආර්ථික වර්ධන වේගය -7.8% කින් පහත ගිය අතර 2023 අවුරුද්දේ තවත් -3.0% කඩා වැටීමට නියමිතයි. 2022 දෙසැම්බර් 31 වන දින වන විට රටේ සමස්ත ණය දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 128.1% ක්. අපි රටක් වශයෙන් ඩොලර් බිලියන 83.5 ලෝකෙට ණයයි. එසේනම්, පළමුව අප කල යුතුව ඇත්තේ මින් ගොඩ ඒමට සුදුසු නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය කටයුතු නොවේද? පාලකයන් හතර වන කාර්මික විප්ලවය පිළිබඳ සිහින දැකීම වරදක් නැහැ . එහෙත්, පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට පාලකයන් අවංක උස්සාහයක් නොගන්නා බව දකින පීටර් බෘවර් කල බල වූවා වන්නට බැරිද?
බිලියන 900 ක් එකතු කර නොගන්නා ලංකාවේ බදු දෙපාර්තමේන්තුව
පසුගිය 12 වන දා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවේ පැවති කෝපා කමිටුවට (COPA) කැඳවනවා. එහිදී හෙළිදරව් වු ආකාරයට රුපියල් බිලියන 904 ක පමණ හිඟ බදු එකතු කරගැනීමට තිබෙන බව හෙළිදරව් වෙනවා . ඉන් බිලියන 163 ක් පහසුවෙන් අයකර ගැනීමට හැකි බව නිළධාරීන් එහිදී ප්‍රකාශ කලත් අවුරුදු ගානනක් ඒවා අය නොකර ගන්නේ ඇයිද යන ප්‍රශ්නයට නිවැරැදි පිළිතුරක් දී ගැනීමට ඔවුන් අපොහොසත් වෙනවා . ඒ වගේම තවත් බිලියන 740 ක් යම් හේතු මත එකතු කරගැනීම තාවකාලිකව නවතා දමා තිබෙන බව එදින කෝපා කමිටුවේදි හෙළිදරව් වෙනවා. ඒවා අයකර ගැනීමට පාලකයන් කටයුතු නොකිරීම, ආදායම් බදු දෙපාර්තමේන්තුවේ පවතින දුර්වලතා නිවැරැදි කොට ඒ සඳහා උස්සාහ නොකරන්නේ ඇයි ? මේවා දැකීමෙන් පීටර් බෘවර් කල බල වී ලංකාවට ආවා වන්නට බැරිද ?
IMF සංදර්ශනයට හසු නොවෙමු
මේ පාලකයන්ගේ උස්සාහය IMF වැඩසටහන අලෙවි කරමින් ඔවුන්ගේ බලය තහවුරු කරගැනීම සහ ඉදිරි මැතිවරණයක් දක්වා මෙය තල්ලු කරගෙන යෑම බව පැහැදිලිය. ඔවුන්ට පීඩනයක් ඇති වන සෑම අවස්ථාවකම IMF වැඩසටහන ඉදිරියට දැමීමත්, කිසිදා යථාර්ථයක් නොවන සංවර්ධන යෝජනා, සැලසුම් , සහ කෘතීම බුද්ධියෙන් සපිරි ලෝකයක් පෙන්වීම පාලකයන්ගේ විනෝදාංශය වී ඇත. පීටර් බෘවර් කල බල වූවාට ඔබ මේවා පිළිබඳ කල බල නොවන්න. මේ පාලකයන්ගේ ආර්ථික මොඩල වල පවතින අර්බුදයට විසඳුම් නැති බව පමණක් ඔබ අවබෝධ කරගන්න.

ශාන්ත ජයරත්න
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
17.05.2023
(හුවමාරු කල හැක)”









