ලාංකීය වේදිකා නාට්‍ය කලාව සංවර්ධනීය අවධියකට ඔසවා තැබූ නාට්‍ය ධරාවේ පුරෝගාමී කාර්යභාරයක් ඉටුකළ සෝමලතා සුභසිංහ ප්‍රවීණ නාට්‍යවේදිනිය පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (30) උදෑසන අභවප්‍රාත්ත වූවාය. ඇය මිය යන විට 79 වැනි විය සපුරා තිබිණි.
පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියදී මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්රයන්ගෙන් නාට්‍ය කලාවට අත්පොත් තැබූ ඇය සරත්චන්ද්‍රයන්ගේ නාට්‍යවලට අමතරව තාත්වික රංග රීතියෙන් නිෂ්පාදනය කෙරුණු හුණුවටයේ කතාව, මූදු පුත්තු, දිරිය මව, හිරු නැති ලොවක්, නරිබෑණා ආදී නාට්‍යවලට සම්බන්ධ වෙමින් 1960 දශකයේ අවසානයේ සහ හැත්තෑව දශකයේ ආරම්භයේදී මෙරට නාට්‍ය කලාව නව දිශාවකට යොමු කළ කඩයිම් නාට්‍ය නිෂ්පාදනයන්හි චරිතාංග නිරූපණ ශිල්පිනියක ලෙස විශිෂ්ඨ කුසලතාවයක් දැක්වූවාය.
ඉන් අනතුරුව 1980 දශකය ආරම්භයේදී ඇය විසින් නිෂ්පාදනය කරන ලද විකෘති නාට්‍ය ප්‍රේක්ෂක සහ විචාරක විශේෂ ඇගයුමට ලක්වූ අතර රාජ්‍ය සම්මාන දිනාගත්තාය. ඉන් පසුව ළමා නාට්‍ය නිෂ්පාදනය කෙරෙහි යොමු වෙමින් තොප්පි වෙළෙන්දා, පුංචි අපට දැන් තේරෙයි, හිම කුමරිය, වලස් පවුල, රත්මලී යන නාට්‍ය නිෂ්පානය කළාය.
වේදිකා නාට්‍ය ශිල්පිනියකට අමතරව චිත්‍රපට චරිතාංග නිලියක වශයෙන් විශිෂ්ඨ කුසලතා දක්වා තිබේ. ටෙලිනාට්‍ය කිහිපයකටද ඇය රංගනයෙන් සම්බන්ධ වූවාය. අවසාන කාලයේදී පූර්ණ වශයෙන්ම ළමා නාට්‍ය කෙරෙහි පමණක් කැපවී කටයුතු කළ ඇය තොප්පි වෙළෙන්දා සහ පුංචි අපට දැන් තේරෙයි යන නාට්‍ය නැවත නිෂ්පාදන වශයෙන් වේදිකාගත කළාය.
ඇයගේ පෞද්ගලික ධනය යොදවමින් ‘ළමා හා යොවුන් රංග පීඨය‘ නමින් නාට්‍ය පුහුණු පාඨමාලාවක් පවත්වාගෙන යමින් වේදිකා නාට්‍ය ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් සුවිශේෂී කැපකිරීම් කරමින් සිටියාය.
වේදිකා නාට්‍යය ක්ෂේත්රයට සුවිශේෂී මෙහෙවරක් කළ තවත් අංශ කිහිපය දස්කම් දැක්වූ සෝමලතා සුභසිංහ නිර්මාණ ශිල්පිනිය ජීවිත රඟමඩලෙන් නික්ම යාම පිළිබඳව ලංකා ටෘත් අපගේ සාතිශය සංවේගය පළ කරන අතර එතුමියගේ අවසන් කටයුතු හෙට (31) සවස බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.









