වටගලගේ හරස්වීමෙන් කොඩිකාරගේ ගජමිතුරු සැලකිල්ල නවතියි

බස්නාහිර පළාත් සභාවට අයත් නොවන ශ්‍රේණිවල (C සහ D වර්‍ගයේ මාර්ග) විශේෂයෙන් පළාත් පාලන ආයතන සතු මාර්ග සංවර්ධය කිරීමේදී එහි බලය 30%කින් පළාත් සභාවට පවරාගැනීම සඳහා වූ ‍යෝජනාවක් එම විශය භාර පළාත් අමාත්‍ය උපාලි කොඩි කාර මහතා විසින් අද (26) පළාත් සභාවට ඉදිරිපත් කර ඇතත් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නීතීඥ සුනිල් වටගල මහතාගේ විරෝධය හමුවේ කොඩිකාර මහතාට එම යෝජනාව ඉවත් කරගැනීමට සිදුව තිබේ.

පළාත් සභාවේ නීති ප්‍රතිපාදන අනුව ගෙන ආ හැකි රීති අත්හිටුවීමේ යෝජනවාක් මගින් අමාත්‍යවරයා මෙසේ ‍සිය යෝජනාව ඉදිරිපත් කර තිබේ. එවැනි වර්ගයේ යෝජනාවක් ඉදිරිපත් වූ විට පළාත් සභාවේ සියලු වැඩකටයුතු නවතා එම යෝජනාව ප්‍රමුඛ කර කටයුතු කරනු ලැබේ.

කෙසේ නමුත් මෙම යෝජනාව ඉදිරිපත් වීමත් සමග ජවිපෙ මන්ත්‍රී සුනිල වටගල මහතා පෙන්වා දී ඇත්තේ මෙම යෝජනාව 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පටහැනි යෝජනාවක් බැවින් මෙය නීති විරෝධී යෝජනාවක් බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය අනුව පළාත් සභාවට පළාත් පාලන ආයතනවල වැඩකටයුතු සඳහා මැදිහත්විය නොහැකි බවද එහිදී වටගල මහතා පෙන්වා දී ඇත.

එම විරෝධතාවය හමුවේ පක්ෂනායක හමුවක් කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. එහිදී වටගල මහතා පෙන්වා දී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 8වන උප ලේඛනයේ 4.3 වගන්තියට පටහැනි බවය. එම පෙන්වාදීම තුළ එම යෝජනාව නීති ප්‍රතිපාදනවලට පිටින් ගෙන එන ලද යෝජනාවක් බව මහ ඇමතිවරයාට පිලිගැනීමට සිදුව ඇති අතර ඔහු ‍යෝජනාව ගෙන ආ කොඩිකාර අමාත්‍යවරයාට පවසා ඇත්තේ යෝජනාව ඉල්ලා අස්කර ගන්නා ලෙසය. ඒ අනුව පක්ෂ නායක රැස්වීමෙන් පසු යලි සභාව රැස්වීමෙන් අනතුරුව තමා ගෙන ආ යෝජනාව ඉල්ලා අස්කරගන්නා බව අමාත්‍ය කොඩිකාර ප්‍රකාශකර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයින් පවසන්නේ පළාත් පාලන ආයතනවල මාර්ග සංවර්ධනයට මුවා වී කොමසාරිස් පාලනයට නතු කර ඇති පළාත් පාලන ආයතනවල මහින්ද පිලේ මන්ත්‍රීවරුන්ට ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් වියදම් කිරීම සඳහා මුදල් ලබා දීමේ කූට උපක්‍රමය මේ අනුව වැලකී ගිය බවය.

Facebook
Twitter
LinkedIn