“මහා දැවැන්ත ජනතා බලයක් ඔස්සේ මේ දුෂ්ට පාලකයින් පලවා හැරිය හැකි බව අපි විශ්වාස කරනවා. ඡන්ද ගන්නත් පුළුවන්. ඡන්ද දිනන්නත් පුළුවන්. පළාත් පාලන ඡන්දය ගැන අපි නිහඬත් නැහැ. අපි කලබලත් නැහැ. ඡන්දය කල්ගියාම මාලිමාවේ රැල්ල වැටුණා කියලා රනිල් වික්‍රමසිංහට කුලියට ලියන කට්ටිය පසුගිය කාලයේ ලීවා. මේක රැල්ලක් නොවෙයි. සවිඥානක ජනතාවගේ බලයක්. රැලි එනවා, යනවා. අපිට රැලි වැඩක් නැහැ. අපි එකතු කරමින් ඉන්නේ තමන් කරන්නේ කුමක්දැයි අරමුණෙන් වැඩ කරන විනයක් සහිත අරමුණක් සහිත දැක්මක් සහිත දැවැන්ත ජනතාවගේ බලයක්. ඒ බලය තමයි මේ තියෙන්නේ. පොඩි ඡන්දයක් කල්දාලා වෙනස් කරන්න පුළුවන් බලයක් නොවෙයි ඒක.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි.
ප්‍රධාන ලේකම්වරයා මේ බව අවධාරණය කළේ ජාත්‍යන්තර කම්රු දිනය වෙනුවෙන් ඊයේ (01) කොළඹ විහාරමහාදේවී උද්‍යාන අසළ පැවති මැදි දින රැලිය අමතමිණි.
එහිදී වැඩිදුරටත් ඔහු දැක්වූ අදහස්,
“මේ මැයි දිනය අපේ රටේ ඉතිහාසය වෙනස් කරන විශේෂතා රැසකින් යුක්ත වෙනවා. අපේ රටේ වසර 75ක ශාපකාරී දේශපාලන ඉතිහාසයට තිත දිනය වැඩි ඈතක නොවෙයි කියලා පෙන්වන්න සමත් ජනතාව මෙතනට ඇවිත් ඉන්නවා. ලංකාවේ පවත්වන දැවැන්තම ජනතා සහභාගිත්වය සහිත මැයි දිනය පවත්වන්නේ අපි. කිලෝ මීටර් හතරක් දුර එකට එකතු කළ මංතීරු හතරක – හයක පාරවල් වසා දැවැන්ත පෙළපාළියක් පැවැත් වූවා. ඒ විශේෂයට අමතරව මේක කම්කරු ජනතාවට වදවේදනා ගෙනත් දුන් මැයි දිනය තහනම් කළ, අයිතිවාසිකම් කප්පාදු කළ පාලක කණ්ඩායම්වලට මැයි දිනය සමරන්න, ශාලාවලට ගාල් වෙන්න සිදුවී තිබෙන වෙලාවක්. ඒ වගේම තවත් විශේෂයක් වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ අවුරුදු 40කට පස්සේ නගර සභා පිටියේ මැයි දිනයක් පැවැත්වෙන්නේ. 1983 අපේ මැයි දිනය පැවැත්වූයේ නගර සභා පිටියේ. අපට මතකයි රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු අපේ පක්ෂයේ නායකයන් මැයි දින රැලිය අමතන අවස්ථාවේ මමත් ඔබ වගේ වේදිකාව ඉදිරිපිට අහගෙන හිටියා. රනිල් වික්‍රමසිංහලාට දැන් අපිව නවත්වන්න බැහැ.
අපි මැයි රැලියට ඉල්ලුවේ ගෝල්ෆේස් පිටිය. දෙන්නේ නැත්නම් සුදුසු කොතනක හරි මේ රැලිය පවත්වන බව අපි තීන්දු කර තිබුණා. ඒ නිසා මේ දැවැන්ත පරිශ්‍රය වැසී යන ලක්ෂයකට වැඩි ජනතාවක් ඒකරාශී වූ මැයි දිනයක් පවත්වනවා. අපේ රටේත් ලෝකය පුරාමත් මේ මැයි දිනය පවත්වන අවස්ථාවේ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ධනේශ්වර ආර්ථික ක්‍රමයට ලෝකය තවදුරටත් ඉදිරියට ගෙන යා නොහැකි බව දිනපතා ඔප්පු කරමින් ඉන්නවා. ධනවාදී අධිරාජ්‍යවාදය යටතේ, නව ලිබරල්වාදී ධනවාදය යටතේ ජනතාවට මනුෂ්‍ය ජීවිතයක් ලබාදෙන්න බැහැ කියලා ලෝකය පුරාමත් ඔප්පු කරමින් ඉන්නවා. 21 වැනි සියවසේ කෘත්‍රිම බුද්ධිය ගැන පම්පෝරි ගහන සියවසක බඩගින්නේ මිය යන ජනතාවක් ඉන්නවා. ලෝකයේ ජනතාවට කන්න දෙන්න හැකියාව තිබුණත් දිනපතා 25,000ක් පමණ බඩගින්නේ මිය යන බව වාර්තාවක සඳහන් කර තිබුණා. ආහාර, ජලය, සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපනය ලබාදෙන්න බැරි ක්‍රමය සාධාරණයි කියලා කිසිකෙනෙකු පිළිගන්නේ නැහැ. කාන්තාවන් සහ දරුවන් වදහිංසාවට පත්වෙන ක්‍රමය, යුද්ධවලින් පිරුණු, වසංගතවලින් පිරුණු, මේ ක්‍රමය සාධාරණ නැහැ. ලෝකයේ ඉපදෙන මිනිසුන්ට සතුටින්, සමාදානයෙන්, ආදරයෙන් ජීවත් වෙන්න බැරි මේ කාලකණ්ණි, වැරදි, පීඩක සමාජය වෙනස් කර, සහෝදරත්වය, ආදරය, සතුට, සංවර්ධනය, මනුෂ්‍යත්වය තිබෙන සාධාරණත්වය සහිත සමාජයක් බිහිකිරීම අපේ වගකීමයි. ඒ වෙනුවෙන් ලෝකය පුරාම සටන්වදින ජනතාව එක්ක ඉදිරියෙන්ම සිටිමින් එකතු වෙනවා කියන පණිවිඩය අපි ලෝකය පුරාම සිටින ජනතාවට ලබාදෙනවා. අපි ඔබ සමග එක්වී හොඳ ලෝකයක් ගොඩනැගීමට දායක වෙනවා.
අපේ රටේ ජනතාවගේ මූලික අවශ්‍යතා සම්පූර්ණ කරන්නත් මේ ක්‍රමයට බැරිවී තිබෙනවා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ගියාට පස්සේ අවුරුදු 75ක් රට පාලනය කළ වලව් ප්‍රභූ පාලකයන් මේ රට බංකොලොත් තත්වයට පත්කළ බව මහ බැංකුවේ අධිපතිවරයාම නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. මේ රට බංකොලොත් කළේ වැඩ කරන ජනතාව, ගොවි ජනතාව, ධීවර ජනතාව, ව්‍යාපාරික ප්‍රජාව, වෘත්තීයවේදීන් යන කිසිකෙනෙක් නොවෙයි. බලය අත්පත් කර ගත් දැක්මක් නැති හොරාකෑම පමණක් එකම අරමුණ කරගත්තු දුෂ්ට කල්ලියක් රට බංකොලොත් තත්වයට ඇද දැමුවා. ඒ කණ්ඩායම මේ රට ගොඩගෙන සුරපුරයක් කර දෙයි කියලා ටික දෙනෙක් හරි හිතනවා නම් ඒ අයගේ මොළය පරීක්ෂා කර ගන්න වෙනවා. මේ රට බංකොලොත් කර, ජනතාවගේ ජීවිත උදුරා ගත් අය මේ රට ගොඩනඟා දෙන්නේ නැහැ. මේ රට බංකොලොත් කළ අය පලවා හැර රට ගොඩනැගීමේ වගකීම ඔබ, අප භාරගත යුතුයි. ඒ වගකීම බාර ගන්න අපි ලැහැස්ති බව මේ මැයි දිනයේ සිට අපි හඬ නඟා කියනවා. දුෂ්කර වුවත් ඒ වගකීම අපි බාරගත යුතු වෙනවා.
එක්සත් ජාතික පක්ෂය අපේ රටේ ලොකු පක්ෂය හැටියට එක්තරා කාලයක තිබුණා. ඒ කාලයේ ගෝල්ෆේස් පිටියේ මැයි දිනය පැවැත්වූ ඔවුන් ඉන්දියානු ගායක, ගායිකාවෝ ගෙනත් බජව් දැම්මා. ඒ පක්ෂයට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පුංචි මැයි දිනයක් පැවැත්වීමට සිදුවීමම ඉතිහාසයේ සරදමක් කියලා අපි විශ්වාස කරනවා. ඒ රැස්වීමට යන්න තරම් කොන්දක් රනිල්ට නැතිවීම ගැන අපි පුදුම වෙන්න ඕන නැහැ. රනිල් වික්‍රමසිංහ මැයි දිනයක් අමතන අවසන් අවස්ථාව මෙය කළ හැකි නම්, ඒක රටේ ජනතාවගේ ජයග්‍රහණයක්. තමන්ට අයිති නැති ජනාධිපති ධුරයක් අරගෙන රනිල් වික්‍රමසිංහ අද රට පාවාදෙමින් ඉන්නවා. රට ගොඩගන්න කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ දණ ගහලා මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටුකිරීම වෙනුවෙන් කොටස් වෙළඳපොළ වහන්න ඕන නම්, වහලා දෙන්නම් කියලත් කියනවා. බැංකු වහන්න ඕනෑ නම් වහලා දෙන්නම් කියලා කියනවා. තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ග අනුගමනය කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දේපළ රාජසන්තක කරන බව රනිල් කියනවා. එයාගේ මාමා ජයවර්ධන වගේ ඇවිත් ජනතාව බයවද්දන්න රනිල් උත්සාහ කරනවා. මාමාගේ යුගයේ මාමා චණ්ඩියා තමයි. එයාට බලයක් තිබුණා. ඒත් ඔයා චණ්ඩියෙක් නොවෙයි. බලයක් නැහැ. ජනවරමක් නැහැ. ඔයා කොළඹ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීකමක් වත් ගන්න බැරිවුණු කෙනා බව අමතක කරන්න එපා. පිනට ගත් ජනාධිපතිකම අරගෙන ජනතාවට චණ්ඩිකම් පෙන්වන්න එනවා නම්, ඒවා තියාගන්න එපා කියලා අපි අනතුරු හඟවනවා. මේ ජනතාව නැගී සිටින අවස්ථාවක යන්න තැනක් සොයා ගන්න බැරිවෙන බව අමතක නොකරන ලෙස රනිල් වික්‍රමසිංහට කියනවා.
රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂලාගේ බොරු වෙස්මුහුණු ගලවා දැමීමේ හොඳ වැඩෙත් කර තිබෙනවා. දේශප්‍රේමී, දේශ හිතෛෂී අධිරාජ්‍ය විරෝධී, ජාතික සම්පත් විකුණනවාට විරුද්ධ බව පෙන්වාගෙන හිටියා. 2019 ගෝඨා දිනවන්න ඕනෑ කීවේ රනිල්ගෙන් රට බේරා ගන්න. විකුණන ඒවා ආපසු ගන්නවා කියු, රාජපක්ෂලා දැන් රනිල්ගේ පිටිපස්සෙන් ඉඳලා විකුණා කෑමට අත ඔසවමින් ඉන්නවා. විකිණීම සාධාරණීකරණය කරන්න පොහොට්ටුවේ සෙට් එක වැඩිපුරම කරුණු කියනවා. එදා මූල්‍ය අරමුදලට විරුද්ධයි කියලා අද මූල්‍ය අරමුදලට රට පාවාදෙනකොට මහින්දගේ කණ්ඩායම නඟුට කකුල් දෙක අස්සේ ගහගෙන අත්දෙකම ඔසවලා අනුමත කර දෙනවා. මහින්ද රාජපක්ෂලාගේ ඒ බොරු වෙස්මුහුණු ගලවපු එක හොඳයි කියලා අපි පිළිගන්නවා. මහින්දලාට රනිල් නැතිව බැහැ. රනිල්ට රාජපක්ෂලා නැතිව බැහැ කියලා බොරු බෙදිලි අවසන් කර, තිබෙනවා. මේ රටේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය සමග අත්වැල් බැඳගත්දා සිට රනිල් වික්‍රමසිංහලා, රාජපක්ෂලා අත්වැල් බැඳගෙන ගමන් කරනවා. හරියට ඉර ගහලා ජනතාවට තේරුම් ගන්න ඇත්ත බෙදීම ඉදිරිපත් කර තිබෙනවා. රට විනාශ කළ අධිරාජ්‍ය ගැති ධනේශ්වර ප්‍රභූ පැලැන්තිය එක පැත්තකත් අනෙක් පැත්තේ මේ රට ගොඩනඟන්න සූදානම් සමස්ත ජනතාවත් රට හදන බලවේග ලෙස එක පැත්තකත් සිටිනවා.
ඉතිහාසයේ පළමුවෙනි වතාවට ඒ බෙදීමේ විශාලම පංගුව බවට ජනතාවගේ මේ බලවේගය පෙරට ඇවිත් සිටිනවා. මෙතෙක් රට පාලනය කළ ප්‍රභූ පංතිය නිර්මාණය කළ අර්බුදය නිසා ජනතාවට නිවැරදි දේශපාලනය තෝරා ගන්න ඉවහල් වී තිබෙනවා. තවදුරටත් පැරණි බංකොලොත් මාවතේ යනවා වෙනුවට අලුත් නිවැරදි මාවතකට හැරී යා යුතු බව පැහැදිලිව කියාදී තිබෙනවා. ජාතික ජන බලවේගය සැබෑ අර්ථයෙන්ම ජාතික ජන බලවේගය බවට මේ වනවිට පත්වී තිබෙනවා. ඒ තුළ ජනතා විමුක්ති පෙරමුණ ඔබ සියලුදෙනා එක්ව එකතු වෙමින් විශාල කාර්යභාරයක් ඉටුකරමින් සිටිනවා. ඔබ අපි සියලු දෙනා ජීවත් වෙන්නේ සමාජ පරිවර්තනයක් සිදුවෙමින් තිබෙන කාලයක. පැරණි සමාජයක අවසානයත්, අලුත් සමාජයක ආරම්භයත් දැකිය හැකි වෙන්නේ එවැනි පරිවර්තනීය කාලයක. සහෝදරත්වය තිබෙන, සෞභාග්‍යය තිබෙන නව සමාජයක ආරම්භය වෙනුවෙන් අපි හැමදෙනාටම එක්වී කළ යුතු විශාල කාර්යභාරයක් තිබෙනවා. වසර ගණනාවක් බලයේ රහ විඳිමින් හොරකම් කළ දුෂ්ට පාලක කල්ලිය ලෙහෙසියෙන් බලය අත්හරින්නේ නැහැ. බලය අත්හැරියහොත් ඔවුන්ට මේ විඳින සැප නැති වී යනවා. ඊටත් වඩා බලය අත්හැරුණොත් මෙතෙක් කළ අපරාධවලට වන්දි ගෙවන්න සිදුවෙනවා. අද රජගෙදර, හෙට හිරගෙදර ඉන්නේ කොහොමද කියලා ඔවුන් කල්පනා කරනවා. ඒ නිසා බලය අත්හරින්න ලැහැස්ති නැහැ. ඒකෙන් කියන්නේ බලය ගන්න බැහැ කියලා නොවෙයි. බලය ගන්න පුළුවන්. ලෝකය පුරා පිලිපීනයේ මාකෝස්, කියුබාවේ බැටිස්ටා, රුසියාවේ සාර් රජ්ජුරුවෝ වගේ සෑම කෙනෙක්ම අවසානයේ ජනතාව ඉදිරියේ පරාජය වුණා.
අපි විශ්වාස කරනවා ජනතාවගේ බලය ගැන. රනිල් විශ්වාස කරනවා හමුදාව පොලීසිය, යොදවා ගන්න. හමුදාවල පොලීසිවල ඉන්නෙත් මේ රටේ ජනතාවගේ දුවලා, පුතාලා. රනිල් විශ්වාස කරනවා ජනාධිපති බලය ගැන. ඔයාගේ බලයට වඩා ජනතාවගේ බලය විශාලයි. හැප්පිලා බලමු කියලා අපි රනිල්ට අභියෝග කරනවා. ව්‍යවස්ථාවට බලය එන්නේ ජනතාවගෙන්. බලයේ උල්පත ජනතාව. ජනතාවගේ බලය ඉස්සරහා දෙපයින් නැගීසිටින්න සමත් කිසි පාලකයෙක් ලෝකයේ බිහි වී නැහැ. ඒ නිසා මහා දැවැන්ත ජනතා බලයක් ඔස්සේ මේ දුෂ්ට පාලකයින් පලවා හැරිය හැකි බව අපි විශ්වාස කරනවා. ඡන්ද ගන්නත් පුළුවන්. ඡන්ද දිනන්නත් පුළුවන්. පළාත් පාලන ඡන්දය ගැන අපි නිහඬත් නැහැ. අපි කලබලත් නැහැ. ඡන්දය කල්ගියාම මාලිමාවේ රැල්ල වැටුණා කියලා රනිල් වික්‍රමසිංහට කුලියට ලියන කට්ටිය පසුගිය කාලයේ ලීවා. මේක රැල්ලක් නොවෙයි. සවිඥානක ජනතාවගේ බලයක්. රැලි එනවා, යනවා. අපිට රැලි වැඩක් නැහැ. අපි එකතු කරමින් ඉන්නේ තමන් කරන්නේ කුමක්දැයි අරමුණෙන් වැඩ කරන විනයක් සහිත අරමුණක් සහිත දැක්මක් සහිත දැවැන්ත ජනතාවගේ බලයක්. ඒ බලය තමයි මේ තියෙන්නේ. පොඩි ඡන්දයක් කල්දාලා වෙනස් කරන්න පුළුවන් බලයක් නොවෙයි ඒක. ඒගොල්ලෝ හිතාගෙන ඉන්න එක වැරදීමක්.
රටක ජීවනාලිය වැඩකරන ජනතාව. ඒ වැඩ කරන ජනතාව රනිල් වික්‍රමසිංහලා ළඟ, මහින්ද රාජපක්ෂලා ළඟ, ස්වාධීන කණ්ඩායම් ළඟ ඒ කිසි තැනක නැහැ. සාතිශය බහුතර ඒ ජනතාව ඉන්නේ අපිත් එක්ක. වතු කම්කරුවන් විකුණන් කෑ අය වෙනම රැස්වීම් පැවැත්වුවත් ඔවුන්ගේ සැබෑ නායකයන් ඉන්නේ මේ වේදිකාවේ. සටන්කාමී ගොවි ජනතාව ගැන, ගෝඨාභය රාජපක්ෂ එක රැයින් කෘෂි රසායන තහනම් කිරීම සමග රට පුරාම නැගී සිටීමෙන් පෙන්වා දුන්නා. අපේ රටේ ගුරු පරපුර ඉදිරියේ ගෝඨාභය රාජපක්ෂවරු දණ ගැස්සුවා. මේ වගේ සියලුම සටන්කාමී ජනතාව එක්වී සිටින සංවිධාන සිටින්නේ අපේ වේදිකාවේ. අපේ රටේ සාතිශය බහුතරයක් කාන්තා පරපුර අප සමග අත්වැල් බැඳගෙන මේ දුෂ්ට පාලනය නිමා කිරීම සඳහා දායකත්වය දෙන්න පෙරට ඇවිත් ඉන්නවා. අපේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසය සටන්කාමියි. එය එහෙ මෙහෙ ගෙනියන්න සමහර අය උත්සාහ කළත් මේ වෙනකොට බහුතර ශිෂ්‍ය ව්‍යාපාරය අප සමග අත්වැල් බැඳගෙන සිටිනවා. අපේ රටේ ව්‍යාපාරිකයා, ව්‍යවසාකයා, කලාකරුවන්, වෘත්තීයවේදින් ආදී රටක් ගොඩනැගිය හැකි සියලු ජනතා බලවේග ඒකරාශී වුණු එකම වේදිකාව ජාතික ජන බලවේගය නිර්මාණය කර තිබෙනවා. ජාතික ජන බලවේගයෙන් මහා දැවැන්ත ජනතා ව්‍යාපාරයක් ගොඩනඟා තිබෙනවා. ඒ ව්‍යාපාරය එක්ක පෙරට යන්න, මේ රට වෙනස් කරන්න අපි ලැහැස්තියි.
සමහරු “මේ දවස්වල ටිකක් හොඳයි. තෙල් පෝලිම් නැහැ.” කියලා කියනවා. මේක ගොඩයමින් තිබෙනවා නේද කියලා අහනවා. අපි හැමදාම කියනවා වගේ මේ තියෙන්නේ අපායේ ඉන්ටවල් කාලය. ඉතිහාසය පුරා ගත් ණය අවුරුද්දක් තිස්සේ ආපසු නොගෙවා ඉන්නවා. උපරිම අවුරුදු දෙකක් කල්දා ගත්තත් ලබන අප්‍රේල් වෙනකොට ආපසු ගෙවන්න සිදුවෙනවා. ඒ ණය ගෙවනකොටම මේ ඉන්ටවල් එක ඉවර වෙනවා. විවෘත ආර්ථිකය ගැන කතාකරන මේ ආණ්ඩුව රටේ ආර්ථිකය හකුළලා, වෙළඳපොළ හකුළලා තිබෙන්නේ. ආනයන තහනම් කර, ඩොලර් ටිකක් ඉතිරි කරගෙන තිබෙනවා. වෙළඳපොළ විවෘත කළ විගස තිබුණාටත් වඩා යටට ආයේ කඩාගෙන වැටෙනවා. ණයවලින් මිදෙන්න රනිල් වික්‍රමසිංහ ණය අරගෙනම උත්තර සොයනවා. ඒ නිසා ඒ උත්තරයත් ඉතා ඉක්මනින් කඩා වැටෙනවා. මේ පාර නිසා කලින්ට වඩා විශාල අගාධයකට කඩාවැටෙවා. රටක තිබිය යුතු සම්පත් විනාශ කරමින් යන පාරක් මේක. සමහර ක්ෂේත්‍ර පුද්ගලික අංශයේ තිබුණාට කමක් නැති බව අපි දන්නවා. රටේ ජාතික ආරක්ෂාවට ඍජුව බලපාන බලශක්තිය ආරක්ෂා කර ගත යුතුයි. නමුත් බල ශක්තිය විකුණන්න යනවා. බැංකු ටික කඩාවැටෙන ක්‍රියාමාර්ග ගන්නවා. මානව සම්පත ආරක්ෂා කර ගන්න කිසිදෙයක් කරන්නේ නැහැ. මේ දවස්වල තිබෙන සම්පත් ටික විකුණලා කීයක් හරි ගන්නවා. ඒ ටික ඉවර වුණාම විකුණන්න දෙයක්වත් නැති වුණාම තත්වය ඉතාමත් භයානකයි. අපි මැයි දිනය සමරන්නේ ඉතාමත් භයානක අර්බුදයක් හදමින් ඉන්න වෙලාවක. රනිල් වික්‍රමසිංහ රට මේ පාරේ ඇදගෙන යන්නේ තමන්ගේ ජනාධිපතිකම වෙනුවෙන්. අවුරුද්දක් දෙකක් ජනාධිපති ධුරයේ ලගින්න.
ඒ නිසා මේ තත්වය වෙනස් කිරීම අපි කාගේත් කාර්යභාරයක්. එය වෙනස් කරන්න වැඩකරන ජනතාව පෙරමුණ ගන්න ඕනෑ. ප්‍රගතිශීලි වාමාංශික ව්‍යාපාර, ප්‍රගතිශීලී ව්‍යාපාරිකයෝ, අවංක නිෂ්පාදකයෝ, මේ රටට ආදරය කරන සියලුම දෙනා පෙරමුණ ගන්න ඕනෑ. දැන් අපි ඉන්නේ ඒ ජයග්‍රහණය පෙනෙන තෙක් මානයේ. අපි වසර ගණනාවක් තිස්සේ ප්‍රාර්ථනා කළ සමාජය ගොඩනැගීමේ ජයග්‍රහණය පෙනෙන ඉසව්වක අපි ඉන්නේ. ඒ ජයග්‍රහණය තහවුරු කර ගන්න ඉවසීමෙන්, කැපවීමෙන්, අපි කවුරුත් වැඩ කළ යුතු වෙනවා. අරගලයේ තේරුමවත් දන්නේ නැති අය තැන් තැන්වල අරගලය ගැන කතාකරමින් ඉන්නවා. අරගලය කියන්නේ ජනතාව සමග බද්ධ වූ පුළුල් ක්‍රියාමාර්ගයක්. ජනතාව නැති, ඉවසීමක් නැති, සංයමයක් නැති, අරගලවලට විතරක් ලෝකය වෙනස් කරන්න බැහැ. හරි දැක්මක් නිවැරදි මඟ පෙන්වීමක්, සමග පොදු ජනතාව අත්වැල් බැඳගෙන ඉදිරියට යන අරගලයක කාර්යභාරයක් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් අපට තිබෙනවා. ඒ බලවේගය ශක්තිමත් බව සතුරා පිළිගෙන තිබෙනවා. ඒ බලවේගය ශක්තිමත් නැත්නම් පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පවත්වනවා. ඡන්දය තිබ්බොත් රනිල්ලා, මහින්දලා පැරදිලා, මාලිමාව දිනනවා කියලා සමීක්ෂණ වාර්තා තුළින් තහවුරු කර තිබෙනවා. දැන් සමුපකාර ඡන්ද පවා කල්දැම්මා. මෙහෙම ගියොත් මරණාධාර සමිතිවල, ග්‍රාම සංවර්ධන සමිතිවල, ඡන්දත් කල්දමන්න බැරි නැහැ.
දැන් අපට තිබෙන්නේ අපේ ජයග්‍රහණය නිල ලෙස වාර්තා කර ගැනීමයි. ඒ වෙනුවෙන් විශාල කාර්යභාරයක් අපට තිබෙනවා. මේ වගේ ලෝකයක, කොල්ලකාරී විවෘත ආර්ථිකයක, නව ලිබරල්වාදී ක්‍රමයක, තමන්ගේ ජන මාධ්‍ය මෙහෙයවලා ජනතාවගේ මනස විකෘති කරද්දී ජනතා විමුක්ති පෙරමුණට, ජාතික ජන බලවේගයට විරුද්ධව එහි නායකයන්ට විරුද්ධව බොරු අවලාද නගද්දී දුෂ්කර කොන්දේසි මැද මෙවැනි බලවේගයක් ගොඩනැගීමෙන් අතිශය දුෂ්කර කාර්යය අපි සියලු දෙනා විසින් ඉටුකර තිබෙනවා. ලෝකයේ ගොඩක් රටවල වමේ ව්‍යාපාරවලට මේ තත්වයට ළඟා වීමට බැරිවී තිබෙනවා. ධනවාදය පිරිහී අර්බුද විශාල වී තිබුණත් ලෝකයේ බොහෝ රටවලට මේ වගේ තැනකට එන්න බැරිවී තිබෙනවා. නමුත් අපේ රටේ ධනවාදී සියලු කණ්ඩායම් එක තැනක තබා, පාලක සියලු කණ්ඩායම් එක තැනක තබා අභියෝග කරන්න අපට හැකිවී තිබෙනවා. හෙට දවසේදී ලෝකය පුරා ආදර්ශයට ගන්නා ව්‍යාපාරයක් හැටියට පිළිගන්න පුළුවන්. මහජනතාව සමග එකතු වෙලා මේ බලය අතට ගන්නත් ඕනෑ. ඒ සඳහා දැවැන්ත මහජන ව්‍යාපාරයක්, මහජන බලයක්, අපට ඕනෑ. සතුරු කණ්ඩායම් පරාජයට පත්කර අපි අතට බලය ගත හැකි තරම් මේ ව්‍යාපාරය පුළුල් කරන්න ඕනෑ. මේ කණ්ඩායම් පරාජය කර අපි ජනතාවාදී පාලනයක් පිහිටුවන්නත් ඕනෑ. ජනතාවාදී ආණ්ඩුවක් හදලා විතරක් වැඩක් නැහැ. ඒ ආණ්ඩුව එක්ක අත්වැල් බැඳගෙන දැන් වට්ටවා තිබෙන රට ගොඩගන්න ඕනෑ.
රට ගොඩනැගීම ලෙහෙසි පහසු වැඩක් නොවන බව අපි දන්නවා. නිෂ්පාදන මාර්ග බිඳවට්ටවා, මනුෂ්‍යත්මය බිඳ වට්ටවා ස්වභාවික සම්පත් අකාමකා දැමූ රටක් ගොඩගැනීමට අධිෂ්ඨාන සහගත මිනිසුන් ඕනෑ. රෝහණ සහෝදරයා නිතර කියන රුසියානු කියමනක් තිබුණා. “හොඳ දෙයක් වෙනුවට හොඳ දෙයක් දෙන්න කාටත් ලේසියි. එහෙත් නරක දෙයක් වෙනුවට හොඳ දෙයක් දෙන්න හැකියාව තිබෙන්නේ ධෛර්යය සම්පන්න මිනිසුන්ට” අපිට සිදුවී තිබෙන්නේ විනාශ කළ, නරක රටක් වෙනුවට හොඳ රටක් හදන්න. ඒ සඳහා අධිෂ්ඨානශීලී, නිර්මාණශීලී, ධෛර්යය සම්පන්න මිනිසුන් ඕනෑ. ආත්මාර්ථකාමී නොවන පොදු අරමුණු වෙනුවෙන් වැඩකරන මිනිසුන්ගෙන් සමන්විත ව්‍යාපාරයක් ඕනෑ. මේ රට ගොඩනඟලා මිනිසුන් සතුටින් ඉන්නවා දැක හිනාවෙන්න හැකි සමාජයක් අපි ගොඩනඟන්න ඕනෑ. අපි කවුරුත් එකතු වෙලා ශක්තිය අරගෙන ධෛර්යය අරගෙන අපි ගම්වලට ගිහින් මේ ව්‍යාපාරය ඉතා ඉක්මනින් බලය ගන්න තැනට ගේන්න ඕනෑ. අපි හැමෝම එකතුවෙලා ඉතිහාසය අලුතින් ලියන්න එකතු වෙමු කියලා ආරාධනා කරනවා.
අපේ රටේ ප්‍රකට කවියෙක් වන රත්න ශ්‍රී විජේසිංහ ලියූ කවියකින් අවසානය ගන්න බලාපොරොත්තු වෙනවා.
ඉතිං යහළුවනි, මල් පිපුණත් ගසක
සැකක් නැතිය ඵලයක් හට ගනු නිසැක
සිතින් අත නෑර මල්වල මුදු මෙලෙක
වරෙව් පරාගණයට රොද බැඳ හනික
ගසක මල් පිපුණොත් අනිවාර්යයෙන්ම ඵල හට ගන්නවා. මුදු මෙලෙක් ආකාරයෙන් පරාගණය කරන්න ඕනෑ. මේ වෙනකොට ලක්ෂ ගණනින් මල් පිපී තිබෙනවා. මෙ මහ පොළොවේ පිපී තිබෙන මල් ඵල බවට පත්කරන එක ඔබෙත් මගෙත් වගකීමක්. අපි ඔක්කෝම එකතු වෙලා රොද බැඳගෙන ඒ මල් ඵල බවට පත්කරමු. මේ දුෂ්ට ක්‍රමය පරදවන්න අපි ලැහැස්තියි. ඒ වෙනුවෙන් අපි ඕනෑම කැපකිරීමක් කරන්න සූදානම්. ඉතිහාසය වෙනස් කරන පරපුර බවට අප පත්වන බව සැකයක් නැහැ. මර්දනය නවත්වා සිංහාසනවලින් බැස යන්න සූදානමින් හිටපල්ලා කියලා අභියෝග කරමින් මේ ව්‍යාපාරය තව තවත් ශක්තිමත් කරන්න, දැනුවත් වෙන්න. මේ දුෂ්ට ක්‍රමය මහ පොළොවෙන් අතු ගා දමා සෑමදෙනාටම සිනාසෙන්න පුළුවන් ගෞරවයෙන් පිරුණු රටක් හදමු.”










