මේ වනවිට X-Press Pearl නෞකාව ගිනිගැනීමෙන් සිදු වූ විනාශයට වන්දි ලබා ගැනීම සම්බන්ධයෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග රට තුළ දැඩි කතාබහට ලක්ව තිබෙන අතර නීතිපති දෙපාර්තමේන්තුව විසින් සිංගප්පූරුවේ වන්දි නඩුව පැවරීම සම්බන්ධයෙන් නීතිපති තීරණය කළේ කුමන සාදක මතද යන්න සහ මෙම ක්‍රියාවලිය පිළිබඳව ආණ්ඩුව නිල ප්‍රකාශයක් කළ යුතු බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ අවධරණය කරති.
අද (30) බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී කරුණු පැහැදිලි කරමින් ජ්‍යෙෂ්ඨ නීතීඥයන් මේ පිළිබඳව කරුණු ගණනාවක් හෙළි කරනු ලැබීය. එහිදී දැක්වූ සම්පූර්ණ අදහස් උපුටාගෙන පහත පල කෙරේ.

ගිනිගත් නැව සම්බන්ධයෙන් නීතිපති ලංකාවේ නඩු නොදා
සිංගප්පූරුවේ නඩු දැමීම බලවත් සැකයක්
නීතිඥ ධනුෂ්කි ලියනපටබැඳි
“එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීම සම්බන්ධයෙන් වන්දි නඩුව සිංගප්පූරුවේ පැනවූයේ ඇයි? කියලා අපි දන්නේ නැහැ. නීතිපතිතුමා ගන්නා ලද තීරණය රට පැත්තෙන් විවාදාත්මක තත්වයක් තිබෙන්නේ. මේ නැව ගිනිගත්තේ 2021 මැයි 20දා ලංකාවේ මුහුදු සීමාව ඇතුළේ. මේක ලෝකයේ විශාලම සාගර අනතුරක්. සිංගප්පූරුවට අයත් මාස තුනක් පමණ වන අලුත්ම නැවක්. ගින්න ආරම්භවී දවස් 13ක් පමණ පැවතුණා. මුහුදු ජීවීන්ට, ධීවර කර්මාන්තයට, සංචාරක කර්මාන්තයට සහ වායුගෝලයට පමණක් නොවෙයි ලංකාවාසීන්ගේම සෞඛ්‍යයට මුදලින් ගණනය කළ නොහැකි තරම් තර්ජනයක් ඇති වුණා. අපි කතා කරන මේ මොහොතේ පවා මුහුදට එකතු වුණු රසායන ද්‍රව්‍ය මෙක් ටොන් 80,000ක රසායනික ක්‍රියාවලිය තව දශක ගණනාවක් ඉදිරියට බලපෑම් කරන බව විශේෂඥයන් මත පළකර තිබෙනවා. ප්ලාස්ටික් පෙබල්ස් බිලියන 50ක්, අවදානම්කාරී නයිට්්‍රක් ඇසිඞ් ටොන් 25ක් වගේම විදේස් ශ්‍රමිකයන්ගේ භාණ්ඩ මේ නැවේ තිබිල තියෙනවා.
ලෝකයේ මේ දක්වා සිදුවුණු ප්ලාස්ට්ක් පෙබල්ස් සම්බන්ධ විශාලම නෞකා අනතුර හැටියට මෙය වාර්තාවී තිබෙනවා. අනාගත පරපුර මේ ව්‍යසනය පිළිබඳ පාලකයන් සහ අපි හැමදෙනාගෙන්මත් ප්‍රශ්න කරන්න ඉඩ තිබෙනවා. අපි මේ ඉටුකරන්නේ දේශපාලන වගේම පුරවැසි වගකීමක්. නීතිපතිතුමා මේ සම්බන්ධ වන්දි නඩුව සිංගප්පූරුවේ පනවා තිබෙන බව වාර්තා වෙනවා. පරිසරයට, සෞඛ්‍යයට, වායුගෝලයට මේ සා විශාල හානියක් සිදුවීම ගැන වන්දි ලැබීමේ නැවත යථාතත්වයට පත්කරන්න බැහැ. නමුත් සිදුවූ හානිය සම්බන්ධයෙන් ලංකාවේ බලපැවැත්වෙන පරිසර පනත් 20ක කොන්දේසි උල්ලංඝනයවී තිබෙනවා. තල්මසුන් හතරදෙනෙක්, ඩොල්ෆින් මාලුවන් 20ක් ඇතුළු සතුන්ගේ මිය යාම සම්බන්ධයෙන් ලංකාවේ අධිකරණ 28ක නඩු පවරා තිබෙනවා. ධීවර පවුල් 25,000ක් පමණ මෙයින් බලපෑමට ලක්වුණා. වෙරළ පිරිසිදු කිරීමේ කටයුතු සඳහා පමණක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට ඩොලර් මිලියන 10ක් ලැබුණු බව කියනවා. වන්දි සම්බන්ධයෙන් ප්‍රශ්නය ඇතිවී තිබෙන්නේ සමස්ත හානිය පිළිබඳවයි.
මෙයට පෙර සුනාමි ව්‍යසනය, ගං වතුර, නාය යෑම්, වැනි ප්‍රශ්නවලට විසඳුම් ලැබුණේ නැහැ වගේම මේ හානියටත් විසඳුම් නොලැබේදැයි බරපතළ සැකයක් තිබෙනවා. නීතිපතිතුමා ලංකාවේ නඩු නොපවරා සිංගප්පූරුවේ නඩු පැවරීම සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් බරපතළ සැකසංකා මතුකර තිබෙනවා. සිංගප්පූරුවේ නඩු දැමීම සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ වර්තමාන සභාපතිවරයා යූ ටියුබ් නාලිකාවකට විවිධ කරුණු දක්වා තිබුණා. ලංකාවේ නඩු නොදැමීමට හේතු ගණනාවක් ඉදිරිපත් කර තිබුණා. ලංකාවේ අධිකරණයක නඩු තීන්දුවක් විදේශීය රටක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කර ගැනීමේ ප්‍රශ්නයක් තිබෙන බව ඒ අතර තිබුණා. නමුත් අපි දන්නා තරමින් එහෙම ප්‍රශ්නයක් නැහැ. නැව රක්ෂණය කර තිබුණේ එංගලන්තයේ. වන්දි ලබාගැනීමට අදාළ ජාත්‍යන්තර සම්මුතීන්වලට අපි අත්සන් කර තිබෙනවා. නොතීසි බාරදීම සම්බන්ධයෙන්ද ප්‍රශ්නයක් නැහැ. මේ වන විටත් ඒ සම්බන්ධ නඩු ගණනාවක් පුද්ගලයන් සහ විවිධ සංවිධාන විසින් පනවා තිබෙනවා. වගඋත්තරකරුවන් නොතීසි බාරගෙන නඩුවට සම්බන්ධ වෙනවා. අයි.එම්.එෆ්. ණය මුදල ගැන උනන්දුවෙන, ප්‍රතිත්‍රස්ත පනත ගැන උනන්දුවන මහජනතාව මේ කරුණු සම්බන්ධයෙනුත් විශාල අවධානයක් යොමු කරන්න ඕනෑ. අයි.එම්.එෆ්. එකෙන් වසර හතරක් පුරා ලැබෙන්නේ ඩොලර් බිලියන 2.9යි. නමුත් මේ වන්දිය ඩොලර් බලියන 6.4ක් ලබාගත හැකියි. ලංකාවේ පාරිසරික සහ මානව ජීවිතයට අදාළ ජාතික වැදගත්කමකින් යුත් නඩුවක් හැටියට දිනපතාම විභාග කරන්න ලංකාවේ කිසිම බාධාවක් නැහැ.”

නැව ගිනිගත්තේ මේ රටේ ඕනෑම අධිකරණයක නඩු පැවරිය හැකි සීමාවක් තුළ
නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර
“අපි හැමෝම ජනමාධ්‍ය ඔස්සේ නැව ගිනිගත් හැටි දැක්කා. ඊට පස්සේ ගැඹුරු මුහුදට නැව ඇදගෙන ගිය බවට ප්‍රවෘත්ති පළ වුණා. මේ ගින්න නිසා මනුෂ්‍යයා ඇතුළු සියලුම ජීවීන්ට සිදුවන විනාශය පිළිබඳ කරුණු වාර්තාකර තිබුණා. සාගර නීති සම්මුතියකින් ලෝකයේ සෑම රාජ්‍යයක්ම බැඳී සිටිනවා. ඒ නිසා සාගර දූෂණයට එරෙහිව තම තමන්ගේ අධිකරණ බලසීමාවන් තුළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ විශාල හැකියාවක් තිබෙනවා. නමුත් අපිට අහන්න ලැබී තිබෙන්නේ සිංගප්පූරුවේ රාජ්‍ය අධිකරණ බලප්‍රදේශය තුළ ශ්‍රී ලංකා රාජ්‍යය වෙනුවෙන් වන්දි නඩුවක් පවරා තිබෙන බවයි. පසුගිය අවුරුදු කිහිපයක් ඇතුළත කැබිනට් ඇමතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, හිටපු ජනාධිපතිවරු වගේ අය “එදා මට වැරදුණා, සමාවෙන්න” යනුවෙන් කියා තිබෙනවා. අපිට එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් වන්දි ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද එවැනි තතිවයක් මතුවේදෝයි බරපතළ සැකයක් තිබෙනවා. ජාතික ජන බලවේගයේ නීතිඥයෝ හැටියට අපි ලෝකයේ කොයි අධිකරණයකින් හෝ ලැබෙන සාධාරණ නඩු තීන්දුවක් සම්බන්ධයෙන් සෑහීමකට පත්වෙනවා.
නමුත් මේ වගේ සිදුවීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජන රජය සේවාදායකයාවී සිටීම නිසා, රටේ සියලුම පුරවැසියන්ද සේවා දායකයින් වෙනවා. මහජනතාව වන සේවාදායකයින් මේ වෙනකොට දන්නේ සිංගප්පූරුවේ නඩුවක් පවරා තිබෙන බව විතරයි. රාජ්‍ය ආයතන අතර, ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් ගැන උත්සාහයක් දරන බවත් සඳහන් වෙනවා. අපි එය එලෙසම ක්‍රියාත්මක වෙනවා නම් අගය කරනවා. මේ සිදුවීම සම්බන්ධයෙන් නඩු පැවරීමේ රට කුමක්ද යන්න පිළිබඳව මහජනතාවගේ දැනගැනීම පිණිස කරුණු කිහිපයක් හෙළි කරන්නම්. මේ රටේ ප්‍රධානම රජයට උපදෙස් දෙන නීති නිලධාරියා හැටියට නීතිපතිවරයා සෑහෙන කරුණු සලකා බලා සිංගප්පූරුවේ නඩු පවරන්න තීන්දු කළා වෙන්න පුළුවන්. නමුත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඕනෑම අධිකරණයක නඩු පැවරිය හැකි බවත් අවධාරණය කරන්න ඕනෑ. කිසියම් රාජ්‍යයක් සම්බන්ධයෙන් අධිකරණ බලය තීරණ කරන සාධක පහක් තිබෙනවා. සිවිල් හෝ අපරාධ වේවා ශ්‍රී ලංකාවේ භූමිය තුළ සිදුවෙන අපරාධ හෝ සිවිල් වැරදි සම්බන්ධයෙන් නඩු පැවරිය හැකියි. ජාත්‍යන්තර සාගර නීතිය සහ ප්‍රඥප්තීන්ට අනුකූලව ශ්‍රී ලංකා භූමිය කියන්නේ අපේ ගොඩබිම, ගොඩබිම සිට නාවික සැතපුම් 12ක් දක්වා ඉදිරියට දිවෙන මුහුදු සීමාව, (භෞමික මුහුදු සීමාව) මේ මුහුදු සීමාවට ඉහළින් තිබෙන අවකාශය යන සියල්ලම අපේ භූගෝලීය සීමාව හැටියට නිර්වචනය කෙරෙනවා. මේ අනුව නැව ගිනිගෙන තිබෙන්නේ ශ්‍රී ලංකා රාජ්‍යයේ ඕනෑම අධිකරණයකට අධිකරණ බලය ක්‍රියාත්මක කළ හැකි භෞමික මුහුදු සීමාව තුළ.
නඩුවේ පාර්ශ්වකරුවන් සියලුදෙනා ශ්‍රී ලාංකිකයෝ නොවෙයි. පීඩාවට පත් පාර්ශ්වය ශ්‍රී ලංකා රාජ්‍යය සහ පුරවැසියෝ. මේ නිසා ජාත්‍යන්තර නීතිය යටතේ රටෙන් පිට සිදුවීමක් වුණත් නඩු පැවරිය හැකියි. සේපාල ඒකනායක ගුවන් යානයක් පැහැරගෙන ආ අවස්ථාවේ ඊට අදාළව ක්‍රියාකරන්න රට තුළ නීතියක් තිබුණේ නැහැ. නමුත් ශ්‍රී ලංකා රාජ්‍යය ජාත්‍යන්තර ප්‍රජාව පිළිගන්නා ගුවන් ගමන් ප්‍රඥප්තිවලට අත්සන් කර තිබුණා. මේ නිසා සේපාල ඒකනායකට විරුද්ධව නඩුවක් අපේ රටේ ඇහුවා. මෙතනදී පීඩාවට පත්වී සිටින්නේ මුළු ලංකාවම. අදාළ සාක්ෂි දීමට හැකි ධීවරයන් හෝ වෙනත් ප්‍රජාව සිටින්නේ ශ්‍රී ලංකාව තුළයි. ඒ නිසා අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාව තුළ නඩු පැවරීමේ හැකියාව තිබෙනවා. ජාත්‍යන්තර සමූද්‍ර ආරක්ෂණ නීති යටතේ, ශ්‍රී ලංකාවේ පාරිසරික පනත යටතේ ධීවරයන් වැනි ජීවනෝපාය අහිමිවූවෙන්ගේ අයිතිවාසිකම් යටතේ දණ්ඩ නීති සංග්‍රහය අනුව මහජන පීඩාවක් යටතේ, වෙරළ ආරක්ෂණ අධිකාරී පනත යටතේ අපරාධමය වරදක් ආදී වශයෙන් ආකාර ගණනාවකින් මේ රට තුළ නඩු පැවරිය හැකියි. ශ්‍රී ලංකා ජන රජය සම්බන්ධයෙන් ලංකාවේ ඉන්න ජනාධිපති නීතිඥ මහත්වරුන්ගේ හෝ විශේෂඥ අවබෝධයක් තිබෙන අයගේ රැස්වීමක් කැඳවා පැහැදිලි තීරණයකට පැමිණීමෙන් පසුව සිංගප්පූරුවේ නඩු පැවරුවාද කියලා අපි ප්‍රශ්න කරනවා. මේ රටේ සියලුම මහජනතාව වෙනුවෙන් අපි මේ ලෙස ප්‍රශ්න කරනවා.
මෙහි පවතින සිවිල් ප්‍රශ්නයක් සහ ජාත්‍යන්තර නීති ප්‍රශ්නයක් නිසා ශ්‍රී ලංකා රජය, අමාත්‍යවරයා හෝ පාර්ලිමේන්තුව දැනුවත් වීමෙන් සිංගප්පූරුවේ නඩු පවරා නැති බවයි වාර්තා වෙන්නේ. ලංකාව තුළ නඩුව පැවරීම සහ සිංගප්පූරුවේ නඩු පැවරීම යන විකල්ප දෙකෙන් සිංගප්පූරුව සම්බන්ධයෙන් විශේෂඥයන් තීරණයක් ගත්තා නම් සුදුසුම විකල්පය තෝරා ගත් බව මහජනතාවට දැනගැනීමේ අයිතියක් තිබෙනවා. ඒ සුදුසුම විකල්පය සම්බන්ධයෙන් තහවුරු කරන්න අදාළ කරුණු ඉතා ඉක්මනින්ම නිල වශයෙන් ජනතාවට පැහැදිලි කරන්න ඕනෑ. මම මේ කියන්නේ නඩුවේ අපිට අදාළ වාසි අවාසි කරුණු හෙළිකරන්න කියලා නොවෙයි. සිංගප්පූරුව තෝරා ගැනීම සඳහා බලපෑ තාර්කික බුද්ධිමය හේතු ඉදිරිපත් කළ යුතු බවයි මම කියන්නේ. ගැඹුරු මුහුදේ මේ අනතුර සිදුවුණත් එයින් අපේ රටට හානි සිදුවෙනවා නම්, වන්දි ලබාගත හැකි ජාත්‍යන්තර නීති සම්මත කරගෙන තිබෙනවා. සියලු නීති සිද්ධාන්ත අනුව මේ රටේ නඩු පැවරිය හැකියි. අවුරුදු දෙකක් තුළ නඩු පැවරිය යුතු බවට කාලාවරෝධයක් තිබුණත් සාධාරණ හේතු මත තව ටිකක් දීර්ඝ කර ගන්න පුළුවන්. සිංගප්පූරු අධිකරණයේ නඩු පැවරීමෙන් ලබාගත හැකි උපරිම වන්දිය ඩොලර් මිලියන 28කට ආසන්න ගණනක් බව වාර්තා වී තිබෙනවා. නමුත් අපේ රට තුළින් තක්සේරු කර තිබෙන්නේ ඩොලර් මිලියන 6400ක වන්දි ලබාගත හැකි බවයි. මේ කරුණු සම්බන්ධයෙන් රජය නිල ප්‍රකාශයක් මහජනතාවට කරන්න ඕනෑ. මේ වන විට බරපතළ සැකසංකා වන්දි නඩුව සම්බන්ධයෙන් තිබුණත් අපේ රටට උපරිම සාධාරණ වන්දියක් ලබාගැනීමට හැකිවීම අපේ එකම බලාපොරොත්තුවයි.”

නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයක් සොයාගෙන යනවාද?
ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සභාපති හේමක සේනානායක
“නැව ගිනි ගැනීමෙන් මුහුදු ජීවීන්ට සහ මුහුදු පත්ලට සිදුවුණු අලාභය වසර 500කටත් වඩා පවතීවි යැයි පරිසර විශේෂඥයන් මතුකර තිබෙනවා. තල්මසුන් සහ ඩොල්ෆින්ලාට අමතරව කැස්බෑවුන් 176දෙනෙකුට අධික සංඛ්‍යාවක් මිය ගියා. ගණනය කළ නොහැකි තරම් මුහුදු විශේෂ 400කට පමණ අයත් ජීවී විශේෂයන් විනාශවී තිබෙනවා. මිනිසුන්ට අමතරව මේ වැනි විනාශයක් සිදුවී තිබියදී මේ රටේ අධිකරණ ඇමතිවරයා විසින් ඉතා බරපතළ ප්‍රකාශයක් කර තිබෙනවා. මේ වන්දි ලබාගැනීමට බාධාකිරීම සඳහා ඩොලර් මිලියන 250ක අල්ලස් මුදලක් යම් පුද්ගලයෙකු ලබාගෙන ඇති බව ජනාධිපති නීතිඥ අධිකරණ ඇමතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. මෙවැනි මුදලක් හුවමාරුවීම සම්බන්ධයෙන් ගරු අධිකරණ ඇමතිවරයා චාමර ගුණසේකර නැමැත්තෙකුගේ ගිණුමට මේ මුදල් ගිය බවත් හෙළිකරනවා. අධිකරණ ඇමතිවරයා ප්‍රකාශ කරන මුදල එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් ලබාදීමෙන් සහ ලබාගැනීමෙන් සිදුවන්නේ කුමක්ද? 2020 සැප්තැම්බර් 03දා එම්.ඩී. නිව් ඩයමන්ඞ් බොරතෙල් රැගත් නැවක් ලංකා මුහුදු සීමාවේදී ගිනිගත්තා. අද වන තුරුත් මෙයින් සිදුවූ අලාභයට සම්බන්ධ වන්දි ගැනීම සිදුකර නැහැ.
මුහුණු පොතේ මත පළකරන අය එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් නඩු දැමීමට ඉතිරිවී තිබෙන දින ගණන නිරන්තරයෙන් ඉදිරිපත් කළා. ඒ නිසා රජය සහ අදාළ නිලධාරීන් මේ මාවතේ ඇදගෙන යාමට ඒ සටහන් උපයෝගී වුණු බව පැහැදිලියි. යම් පාර්ශ්ව මත දක්වන්නේ ඩොලර් බිලිය 6.4ට වඩා විශාල මුදලක් ලබාගත හැකි බවයි. මේ සියල්ල තිබියදී නොකෙරන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයක් හොයනවාද? කියන සැකය බරපතළ ලෙස මතුවී තිබෙනවා. මේ නිසා ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ නීතිඥවරුන් සමග එක්වී පොලිස්පතිතුමාට ඩොලර් මිලියන 250ක ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බලන ලෙස පැමිණිලි කළා. විශේෂයෙන්ම මේ රටේ පුරවැසියන් හැටියටත් ජාතික ජන බලවේගයේ නියෝජිතයෝ හැටියට සහ සාමාජිකයන් හැටියටත් විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයා කරන ලද ප්‍රකාශය පිළිබඳ බරපතළ අවධානය යොමුකර තිබෙනවා. මේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදාළ ප්‍රමුඛතාවය ලබාදෙමින් පොලීසිය පරීක්ෂණ පැවැත්විය යුතුයි. මේක රටක්, රටක මිනිස්සු සහ රටක අනාගතය සම්බන්ධයෙන් පවතින ප්‍රශ්නයක් බව අපි අවධාරණය කරනවා.”










