පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූ පාර්ශව වන්දි ගෙවීම පමණක් ප්‍රමාණවත් නොවන බැවින් ඔවුන්ට එරෙහිව නව නඩුවක් ගොනු කිරීමට නීතිපතිවරයා වහා ම කටයුතු කළ යුතු බව ජාතික ජන බලවේගයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.
මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති ඇතුළු පාර්ශ්වකරුවන්ට ප්‍රහාරය සම්බන්ධව වන්දියක් ගෙවීමට ඊට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් නියෝග කළ ද ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත්වීම පිළිබඳ නව නඩුවක් ඒ අනුව ගොනු කිරීම අත්‍යවශ්‍ය බව මන්ත්‍රීවරයා ‘මව්බිම’ට පැවසීය.
“පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ආරක්ෂක ලේකම් ඇතුළු ඉහළ නිලධාරීන් වැරදිකරුවන් කරමින් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් ලබා දීම ඉතාමත් තීරණාත්මකයි. මෙම ප්‍රහාරයට නිශ්චිත වශයෙන් ප්‍රධාන වගකිව යුතු පාර්ශවකරුවන් දෙකක් සිටිනවා. එකක් මෙම ප්‍රහාරය වළක්වාගන්න අසමත් වූ පාර්ශ්වය, අනිත් පාර්ශවය ප්‍රහාරයේ මහ මොළකරුවන්.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් ලබාදුන් තීන්දුව අනුව ප්‍රහාරය වළක්වාගැනීමට ඉහළ දේශපාලන තලය හා නිලධාරීන් තම වගකීම ඉටුකර නැති බව ඉතාමත් පැහැදිලියි. එම නිසා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම හරහා ප්‍රහාරය වළක්වාගන්න අසමත්වීම ගැන නව නඩුවක් ගොනු කිරීමට අවශ්‍ය සාධක ලැබී තිබෙනවා.
නීතිපති වහා ම මෙම ප්‍රහාරය වළක්වාගන්න අසමත් වූ මෛත්‍රී ඇතුළු එම පාර්ශවයන්ට වහා ම නඩුවක් ගොනු කළ යුතුයි. ඒ වගේ ම කාලයේ වැලි තලාවට කිසිසේත් ම යට වන්නට ඉඩ නොදී මෙම ප්‍රහාරයේ මහ මොළකරුවන් නීතිය හමුවට පැමිණ වීම රජයේ වගකීම,” යැයි ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
අනුරාධා හේරත් (මව්බිම)










