මහජනතාව විසින් ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පළවා හැරීමට මාස දෙකකට පෙර මෙම වසර තුළ රුපියල් කෝටි 650,000 කට අධික ණය ප්‍රමාණයක් රට මත පටවා ඇති බව මහ බැංකුවේ නවතම නිල වාර්තාවලින් අනාවරණය වේ.
පසුගිය 2021 වසරේ දෙසැම්බර් 31 වෙනවිට මෙරට සමස්ත ණය බර රුපියල් කෝටි 1,758,940ක් (රුපියල් බිලියන 17,589.4) වී තිබිණි. එය 2022 මැයි මස අවසන් වනවිට රුපියල් කෝටි 2,405,130 දක්වා (රුපියල් බිලියන 24,051.3) ඉහල ගොස් තිබේ. එනම් මාස 5ක් තුළදී රුපියල් කෝටි 656,190කින් (රුපියල් බිලියන 6,561.9) ඉහල ගොස් තිබේ.
ගෝඨාභය රාජපක්ෂ විදේශ ණය නොගන්නා බවට ප්‍රකාශ කර තිබුණ ද, එම මාස 5 තුළදී විදේශ ණය ප්‍රමාණය රුපියල් කෝටි 503,700කින් (රුපියල් බිලියන 5,037) ඉහල ගොස් තිබීම මේ අතරින් කැපී පෙනෙයි. ඩොලර් මිලියන 500ක විදේශ ණය වාරිකය අප්‍රේල් මාසයේදී නොගෙවා සිටිය යුතු බවට ආර්ථික විශේෂඥයන් මත පළකර තිබියදී එම ණය වාරිකය ගෙවීමෙන් පසුව මෙතරම් විශාල විදේශ ණය ප්‍රමාණයක් එකතු වී තිබේ.










