කැබිනට් බලතල සහිත බව කියමින් ඉන්දියාවේ ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් ලෙස පත්කර සිටින මිලින්ද මොරගොඩ ජනතාව නොමඟ යවන ව්‍යාජ කරුණු දක්වමින් මෙරට සම්පත් සියල්ල ඉන්දියාවට පාවාදීමේ මූලික මතවාදී ප්‍රචාරයක් ආරම්භ කර ඇති බවට කරුණු හෙළිවේ.
ඔහු අද (17) ලංකාදීප පුවත්පතට සපයා ඇති ලිපිය තුළ මේ බවට කරුණු රැසක් අන්තර්ගත කර ඇත. වරාය, ගුවන්තොටුපළ සන්නිවේදනය යන ප්‍රබල අංශ විකුණා දැමීමත් ත්‍රිකුණාමලයෙහි තෙල් ටැංකි සංකීර්ණය සහ වරාය කලාපය විකිණීමත් මන්නාරම සහ පූනරීන් ප්‍රදේශවල සුළං විදුලි බලාගාර පිහිටුවීමට විදේශයන්ට පැවරීමත් සාධාරණීකරණය කිරීමට එම ලිපියෙන් උත්සාහ දරා තිබේ.
මෙයට ප්‍රවේශයක් ගෙන ඇත්තේ රජයේ ආදායමෙන් 80%ක් රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීමට වැය වන බව දක්වමින් ය. එයට අමතරව වසර ගණනාවක් තිස්සේ ආර්ථික ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාවය ඉටු නොකිරීමෙන් උහුලා ගත නොහැකි බදු බරක් ජනතාව මත පැටවී ඇති බවද මේ මොහොතේ හෝ අදාළ ප්‍රතිසංස්කරණ සිදු කිරීමෙන් අපේ දරුවන්ට සැනසිලිදායක රටක් නිර්මාණය කළ හැකි බවද යනාදී වශයෙන් ජනතාව නොමග යැවීමේ උත්සාහයක් දරා තිබේ.
රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීම ආර්ථිකයට උසුලා ගත නොහැකි බරක් බව විශේෂයෙන් සඳහන් කරන ඔහු රාජ්‍ය ණය සඳහා ඉතා විශාල පොලියක් ගෙවීමට සිදුවීම පිළිබඳව කිසිවක් සඳහන් කර නැත. 2022 වසර මැද රාජ්‍ය මූල්‍ය කලමනාකරණ වාර්තාව අනුව රජයේ සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා මෙම වසරේ මුල් මාස 4 තුළ රුපියල් කෝටි 41,571ක් (රුපියල් බිලියන 415.71) වැයවී තිබේ. නමුත් එම කාලය සඳහා ණය පොලී ගෙවීමට පමණක් රුපියල් කෝටි 42,679ක් (රුපියල් බිලියන 426.79) වැයවී ඇත. නමුත් ඒ වැයබර පිළිබඳව කිසිවක් නොකියන ඔහු අනාගත දරුවන්ට සැනසිල්ලේ සිටීමට නම් මෙරට ආර්ථිකයේ සංවේදී සම්පත් සියල්ල විකුණා දැමිය යුතු බව තහවුරු කිරීමට උත්සාහ කර තිබේ.












