මර්දනය නවත්වා ජනතාව කැමති පාලනයක් පිහිටුවාගන්න අවස්ථාව ජනතාවට ලබා දියයුතු බව අද (26) පෙරවරුවේ කොළඹ මහජන පුස්ථකාලයේ “මර්දනය නවත්වනු! ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට ගරු කරනු!” යන තේමාවෙන් කලා කරුවෝ පැවැත්වූ මාධ්‍යහමුවකදී අවධාරණය කරනු ලැබූහ.
එම මාධ්‍ය හමුව සඳහා ප්‍රවීන රංගන ශිල්පිනියන් වන චාන්දනී සෙනෙවිරත්න, චමිලා පීරිස්, දීපානි සිල්වා, සාහිත්‍යවේදී කමල් පෙරේරා, රවී සිරිවර්ධන, සංගීතවේදී සුදන්ත මාධව, රංගනශිල්පී කෝසල ද සිල්වා සහ සංජීව ගුණරත්න ඇතුළු කරුවන් පිරිසක් එක්වී සිටියහ.
ඔවුන් දැක්වූ අදහස් පහතින් දැක්වේ,

හෘද සාක්ෂියට එකඟව ක්‍රියා කරන ලෙස ආරක්ෂක අංශවලින් ඉල්ලවා – සාහිත්‍යවේදී කමල් පෙරේරා
“රනිල් රාජපක්ෂ පාලනය යටතේ අලුත් පනත් සම්මත කරගනිමින් ගැසට් නියෝග නිකුත්කරමින් ජනතාවගේ සංවිධානය වීමේ, අදහස් ප්‍රකාශ කිරීමේ සහ සැරිසැරීමේ අයිතිය සම්පූර්ණයෙන්ම යටපත් කර බංකරයක කොටු කර තැබීමට එරෙහිව හඬනගන කලාකරුවන්ගේ මාධ්‍ය හමුවක් තමයි මේ පවත්වන්නේ.
පසුගිය 23 වෙනිදා රනිල් රාජපක්ෂ හදිසි ගැසට් පත්‍රයක් නිකුත් කර 24 වෙනිදා යොදාගෙන තිබුණු තරුණයන් ප්‍රමුඛ සියලු පීඩිත ජනතාවගේ සමාකාමී පෙළපාලිය මර්ධනය කිරීමට පියවර ගත්තා. මෙයින් පැහැදිලි වන්නේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව රටේ ජනතාවගේ කිසිම මූලික අයිතියක් තහවුරු කර දෙන්න සූදානම් නැති බවයි. මේ මර්ධනය හමුවේ ජනතාවගේ අයිතීන් හකුළාගන්න සූදානම් නැහැ. මර්දනය තවදුරටත් ඉදිරියට ගෙනයන්න උත්සාහ කරනවානම් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සමග කලාකරුවෝ ඉදිරියට ඇවිත් අරගල කරන බව ප්‍රසිද්ධියේ දන්වා සිටිනවා.
මර්දන යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන අයත් මණුෂ්‍යයන් හැටියට කල්පනා කර ඔබලාගේ දරුවන්ගේ සහ මාපියන්ගේ අයිතීන් වෙනුවෙන් හඩනගන උද්ඝෝෂණවලට එරෙහිව ඉහළින් එන නියෝග ඒ ආකාරයෙන් ක්‍රියාත්මක නොකර හෘද සාක්ෂියට එකඟව ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටිනවා.”

මේ නිරුවත් දේශපාලනය නවත්වා ජනතාව ආරක්ෂා කළ යුතුයි – ප්‍රවීණ ගීත රචක රවි සිරිවර්ධන
“ශ්‍රී ලංකාවේ පාලකයන් මිනිසුන්ගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා වෙනුවට විසඳුම් ඉල්ලන ජනතාව මර්දනය කිරීම ප්‍රමුඛ කාර්යය බවට පත් කරගෙන තිබෙනවා. දිගු කාලයක් තිස්සේ ඇති කරන ලද අසමත් තත්වය යළිත් යහපත් දිශාවකට හැරවීම ජනතාවගේ අපේක්ෂාව වී ඒ වෙනුවෙන් සාමාකාමීව විරෝධය දක්වන ජනතාව මර්දනය කිරීමට පාලකයන් ගෙනයන ක්‍රියාමාර්ග සම්පූර්ණයෙන් නවතා දැමිය යුතුයි.
අසමත් පාලකයාගේ ප්‍රමුඛතම අවිය ඔවුන්ගේ පෞද්ගලික ආරක්ෂාව තරකරගැනීමයි. සමත් පාලකයන් පෞද්ගලික ආරක්ෂාව තරකර ගැනීමට කලබල වෙන්නේ නැහැ. ජනතා නැගී සිටීමක් අසමත් පාලකයන්ට කිසිසේත් වලක්වන්න බැහැ. අධි ආරක්ෂිත කලාප පිහිටුවන්නේ ජනතාවගේ අපේක්ෂා ඉෂ්ඨ නොකරන ශිෂ්ඨසම්පන්න නොවන නව ශ්‍රී ලාංකීය භූමිය නිර්මාණය කිරීමට ඉඩ නොදෙන අසමත් පාලකයන්.
මේ රටේ ප්‍රශ්න පුරවැසියන්ගේ හැඟීම් කිසිවක් දැනෙන්නැති ජනතාව ඡන්දය නොදුන් පාලකයෙක් රනිල් කියන්නේ. ඔහු ගෙනයන මෙම නිරුවත් දේශපාලනය නැවැත්විය යුතුයි. ජනතාව ආරක්ෂා කරන ලෙසට රාජ්‍යය මෙහෙයවීමට සියලුදෙනාම බල කළ යුතුයි.”

ඔබලාගේ මර්ධනයට මිනිසුන් නැවෙන්නේ නැහැ – ප්‍රවීන රංගනශිල්පිණී චමිලා පීරිස්
අපි ජීවත්ව මේ වකවානුවේ ඉතාම අපහසුවෙන් සහ වේදනාවෙන් බහුතර මිනිසුන් පිරිසක් ජීවත්වීමට සිදුකර තිබෙන බැවින් පාලකයන්ගේ මර්දනයට ඔවුන් නොනැමෙන බව අවධාරණය කරන ප්‍රවීන රංගන ශිල්පිනී චමිලා පීරිස් වෙදනාවෙන් පෙළෙන ජනතාව සමග ඒ අත්දැකීම කලාකරුවන්ද බෙදා ගන්නා බව ප්‍රකාශ කළාය.
වැඩිදුරටත් අදහස් දක්වමින් “කලාකරුවන් වන අපි මේ මාධ්‍ය හමුවට එක් වී සිටින්නේ ජනතාවගේ වේදනාව අපටත් දැනෙන නිසා. පවතින ආණ්ඩුව බලන්නේ මර්දනය තුළින් රට පාලනය කරන්නයි. නිසි ආකාරයෙන් රට පාලනය කරන්න ඔවුන්ට බැහැ. පූර්ණකාලීනව වංචාවෙන් දූෂණයෙන් කපටිකමෙන් රට පාලනය කර රටක් වැටිටහැකි අගාදයටම ශ්‍රී ලංකාව ඇද දමා තිබෙනවා. ඊට එරෙහිව නැගී සිටින ජනතාව මර්දනය කිරීම වහාම නතර කළ යුතුයි. ඔබලාගේ මර්දනයට මිනිස්සු නැවෙන්නේ නැහැ. ඔබලාගේ මර්දනයට මිනිස්සු අවනත වෙන්නෙත් නැහැ.
දරුණු අගාදයකට මිනිසුන් හෙලා තිබෙන මේ අවස්ථාවේ කිසිම ජනවරමක් නැති සහ ජන වරමක් තිබුණු පාලකයන් සියලු දෙනා ගැනම ජනතාව කල්පනා කරමින් සිටිනවා. ඔවුන් සියලු දෙනාම පවතින වගකිව යුතු බව ජනතාව තේරුම්ගෙන සිටිනවා. මේ නිසා පීඩාවට පත්ව සිටින මිනිසුන් මර්දනයෙන් නතර කරන්න බැහැ.”

මේ තරුණයන් එළියට එන එක නවත්වන්නේ කොහොමද රනිල් ! – සංගීවේදි සුදන්ත මාධව
“පසුගිය කාලය මුලුල්ලේම රට දරුණු ආර්ථික අර්බුදයකට වැටීම හේතුවෙන් තරුණයෝ ප්‍රමුඛ ජනතාව නැගී සිට දැවැන්ත විරෝධතාවයක් ගෙන ගියා. බිඳවැටුණු රාජ්‍යයක පුරවැසියන් වීමේ වේදනාව, කලකිරීම සහ අපේක්ෂා භංගත්වයට එරෙහිව රට මේ තැන පත්කළ පාලකයන්ට ඔවුන්ගේ විරෝධය එල්ල කළා. මේ තරුණයන් එළියට එන එක නවත්වන්නේ කොහොසද රනිල් !
පාර්ලිමේන්තුව නියෝජනය නොකරණ ජනමතයක එළියේ තිබියදී පළාගිය ජනාධිපති වෙනුවට අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුවෙන් පත් කර ගත්තා. සමහර අය තාවකාලිකව හෝ රට කිසියම් මාවතකට දාගනීවි යැයි යම් අවස්ථාවක් රනිල් රාජපක්ෂට ලබා දුන්නා. නමුත් දැන් ඒ අපේක්ෂාවන් සම්පූර්ණයෙන්ම බිඳදමා අවසන් මේ නිසා නැගිටීම හැර වෙන කරන්න දෙයක් ජනතාවට ඉතිරිවී නැහැ. වේලක් ඇර වේලක් කන්න බැරි තරම් මිනිසුන්ගේ කෙඩට ඇවිත් තිබෙනවා.
රනික් රාජපක්ෂ තවදුරටත් රාජපක්ෂ ජුන්ටාව ආරක්ෂා කරන ක්‍රමවේදය නැවත්විය යුතුයි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, අධි ආරක්ෂිත කලාප නම් කිරීම අදිය තුළින් ජනතා නැගී සටීම නවත්වන්න බැහැ. බිඳ දමා තිබෙන රට තව දුරටත් වළ පල්ලය ගෙනයන මර්දනය නවත්වා ගෙදර යන්න කියලා විතරයි ජනතාව රනිල් රාජපක්ෂගෙන් ඉල්ලන්නේ.”

ශිලා ලිපිවලත් මිනිසුන් මර්දනය කරන අනපවත් හොයයිද දන්නේ නැහැ – ප්‍රවීන රංගන ශිල්පිනී දීපානි සිල්වා
“අටවාගත් ජනාධිපති හැටියට රනිල් වික්‍රමසිංහට තවදුරටත් කරන්න දෙයක් නැහැ. ඔබට කිසිම දෙයක් බැහැ. තවදුරටත් ඉන්න එපා. මේ දවස්වල රනිල්ට තිබෙන ලොකුම රාජකාරිය මිනිස්සු මර්දනය කරන අනපනත්වල ඉතිහාසය හොය හොයා යන එකයි. තව ටික කාලයකින් ශිලා ලිපිවලත් මිනිසුන් මර්දනය කරන අනපනත් හොයයිද දන්නේ නැහැ. ඔය හැම අනපනතක්ම ගේන්නේ ජනතාවගේ ආරක්ෂාවට නෙවෙයි.
අපේ ජනතාව මොනතරම් පීඩාවකට පත් කර සිටිනවාද, පොල්ම්වල මහ පාරේ මිනිසුන් මැරුවා, දරුවන්ට පාසල් යන්න ක්‍රමයක් නැහැ, ජනතාව කොතරම් අවහිරතාවයකද ඉන්නේ, 60ක් ගෙන යා හැකි බස්වල 120ක් දාගෙන යනවා. කන්න වේල හොයාගන්න ඉතාම ඉහළ වියදමක් දරන්න වෙනවා. පොඩි දරුවන්ට කන්න දෙන්න බැරි කරුමයක් ගෙදරට ගෙන ආවේ අපේ රටේ පාලකයෝ. අත්අඩංගුංවට ගෙන නීතිය හමුවට ගේන්න ඕනෑ ඔවුන්වයි.
ආදරනීය පොලීසියටත් හමුදාවටත් කියන්න තියෙන්නේ, ඇඳුම් ඉරා ඇදගෙන යන්න ඕනෑ කාන්තාවෝ නෙවෙයි, පාලකයන්වයි. පොලීසියේ මහත්වරුන්ගේ ගෙවල්වලටත් කෑමබීම අඩු කරලා තියෙන්නේ මේ පාලකයෝ. තවදුරටත් බොරුවෙන් ගෙනියන්න බැහැ. මර්දන නීතිවලට අපි යටත්වෙන්නේ නැහැ. අපි යටත් වෙන්නේ, ජනතාව වෙනුවෙන් තිබෙන යහපත් නීතිවලට විතරයි. ඒ නිසා දැන් ඔය ගොල්ලෝ පාලනයෙන් බැහැලා යන්න. තමන්ට කැමති පාලනයක් තෝරාගන්න ජනතාවට අවස්ථාව ලබා දෙන්න කියලා අපි බල කරනවා.”










