උතුරේ පුංචි ඡන්ද පැවැත්වීමට වාරණයක්!

පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම හෙට (28) පැවැත්වීම අත්හිටුවන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. 2011 වසරේ ඡන්ද හිමි නාමලේඛනය ඡන්ද විමසීමට භාවිතා කිරීම අසාධාරණ බව පවසමින් එම ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් ගොනුකරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුතු කර ඇත.

පෙත්සම්කරුවන් පෙන්වා දී ඇත්තේ ඡන්ද විමසීම සඳහා 2011 වසරේ ඡන්ද හිමි නාමලේඛනය භාවිතා කිරීම මගින් ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ඇති විශාල පිරිසකට ඡන්ද අයිතිය අහිමි වී යන බවත් එසේම 2011 ඡන්ද හිමි නාමලේඛණයේ නම් සඳහන් ඇතැම් පිරිස් මේ වනවිට ජීවිතක්ෂයට පත්වී ඇති බවය. එම කරුණු සලකා බැලූ ප්‍රියසාද් ඩෙප් මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ලබන මස 27වැනි දින දක්වා මැතිවරණය පැවැත්වීම අත්හිටුවන ලෙස නියෝගයක් නිකුත් කර තිබේ.

කෙසේ නමුත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ අමාත්‍ය රිෂාඩ් බදුඋදීන්ගේ මැදිහත්වීම මත මෙම පෙත්සම ගොනු කර ඇති බවයි. මීට ඉහත අවස්ථාවේදී මෙම මැතිවරණය පැවැත්වීමට නොහැකිවූයේද අධිකරණය විසින් ලබාදුන් වාරණ නි‍යෝගක් නිසා වන අතර එම වාරණ නියෝගයට අදාළ පෙත්සමද ගොනු කර ඇත්තේ රිෂාඩ් බදුඋදීන් ඇමතිවරයාගේම මැදිහත් වීම මත බවත් මෙවර පෙත්සම ගොනු කිරීමේ සැබෑ ඇරමුණ රිෂාඩ් බදුඋදීන් ඇමතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අපේක්ෂකයන් වෙනත් පක්ෂවලට ගොස් ඇති නිසා බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි.

කෙසේ නමුත් මැතිවරණයේ ඡන්ද විමසීමට දිනක් තිබියදී නැවත වාරණයක් ලබාගැනීම සම්බන්ධයෙන් එම ප්‍රදේශවල ජනතාවද බදුඅදීන් ඇමතිවරයාට සිය අප්‍රසාදය පළ කරමින් සිටින බවද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn