ත්‍රිවිධහමුදා සොල්දාදුවන්ගේ සුභසාදන කටයුතු සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය විසින් පවත්වාගෙන යන “අපි වෙනුවෙන් අපි” අරමුදලේ මුදල් විශාල වශයෙන් අවභාවිතයට ලක් කර ඇති බව අනාවරණය වේ. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදීද විවිධ අවස්ථාවල ප්‍රශ්න කර තිබිණ.
එම අරමුදලට අයත් ලංකා බැංකුවේ තැප්‍රෝබේන් ශාකාවේ අංක 7040000 දරණ ගිණුමෙන් පසුගිය දෙසැම්බර් 11වනදා රුපියල් දහහතර කෝටි දහසයලක්ෂ පනස් දහසකට (රු. 141,650,000) අධික මුදලක් හදිසියේ ගෙවා ඇත.
විදේශීය ගනුදෙනු පියවීම සඳහා මෙම මුදල් යොදාගෙන ඇති බව හෙළි වේ.
රුපියල් තුන්කෝටි තුන්ලක්ෂ පනස් තුන්දහස් නවසිය අනූහය (රු. 30,353,996) බැගින් ගෙවීම් තුණක් කර තිබේ. එමෙන්ම රුපියල් පන්කෝටි පන් ලක්ෂ අසූ නවදහස් නවසිය අනූතුනක්ද (රු. 50,589,993) එදිනම ගෙවා තිබේ.
මෙයට අමතරව එම ගිණුමෙන් දෙසැම්බර් 31වනදා චෙක්පත් අංක 100160 යටතේ රුපියල් මිලියන 22ක මුදලක් ගෙවා ඇති බව වැඩිදුරටත් හෙළි වේ.
මෙම ගිණුමෙන් මුදල් ගැනීමේ බලය තිබී ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, බී.යූ. රත්නවීර, පී. ද සිල්වා, බී.ඩී.ඩබ්ලිව්.ඒ. ද සිල්වා සහ ඩී.ආර්. තිරන්තුඩුව යන මහත්වරුන්ටය.









