ඩයස්පෝරාව සමග වැඩකිරීමේ ජනපතිගේ තීරණයට ඇමෙරිකාවේ ප්‍රසාදය

ඩයස්පෝරාව සමග වැඩකිරීමේ ජනපතිගේ තීරණයට ඇමෙරිකාවේ ප්‍රසාදය

උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනය සඳහා කැනඩාව, අමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා රටවල සිටින ඩයස්පෝරාවට ඇරයුම් කිරිමට අපේක්ෂ කරන බව ජනාධිපති ගෝටාබය රාජපක්ෂ අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් හමුවේ ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති ගෝටාබය රාජපක්ෂ මේ බව ප්‍රකාශ කර ඇත්තේ වික්ටෝරියා නූලන්ඩ් ඊයේ (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී හමු වී සාකච්ඡා කළ අවස්ථාවේදීය.

ඊයේ පෙරවරුවේ පැවති සර්ව පාක්ෂික සමුළුවේදී ඉදිරිපත් වූ කරුණු, එහි ප්‍රගතිය සහ දෙමළ ජාතික සන්ධානය සමග සිකුරාදා දින පැවැත්වීමට නියමිත සාකච්ඡාව පිළිබඳව ජනාධිපතිවරයා එහිදී එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර ලේකම් වික්ටෝරියා නූලන්ඩ් හමුවේ දැනුවත් කර ඇත.

ඒ පිළිබඳ ප්‍රසාදය පළ කර ඇති සහකාර ලේකම්වරිය කැනඩාව, අමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා රටවල සිටින ඩයස්පෝරාව සමග සාකච්ඡා පැවැත්වීමේ ඇති වැදගත්කම පෙන්වා දී තිබේ.

ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ, උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනයට ඔවුන්ට ඇරයුම් කරන බවය.

අමෙරිකාවේ හරිත තාක්ෂණය මෙරටට හඳුන්වා දීමටත් සයිබර් සහ තොරතුරු තාක්ෂණ අංශවල දියුණුවට සහය ලබා දීමටත් පියවර ගන්නා බව වික්ටෝරියා නූලන්ඩ් සඳහන් කර ඇත.

එමෙන්ම, මෙරට අධ්‍යාපන පහසුකම් කෙරෙහි අවධානය යොමු කර ඇති සහකාර ලේකම්වරිය පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගැනීමෙන් උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කළ හැකි බව පෙන්වා දී තිබේ.

එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, කොවිඩ් වසංගතය සහ වෙනත් රටවල සිදුවීම් මගින් රටේ ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම මගහරවා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට තීරණය කළ බවය.

තවද පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් විදුලි උත්පාදනයට ඇති අවස්ථා පුළුල් කිරීමට සහය වන ලෙසද ජනාධිපතිවරයා එම දූත පිරිසෙන් ඉල්ලා තිබේ.

සහකාර ලේකම් ඩොන් ලු (Don Lu), අමෙරිකානු තානාපති ජූලි චන්ග් (Julie Chung), ප්‍රධාන නියෝජ්‍ය සහකාර ආරක්ෂක ලේකම් ඇමන්ඩා ඩෝරි (Amanda Dory), දේශපාලන නිලධාරී ජෙෆ් චැනින් (Geoff Chanin), විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මෙම අවස්ථාවට එක්ව සිට ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්