මහින්ද රාජපක්ෂ මහතාගේ නව වසරේ සුභ පැතුම

බෙදුම්වාදයට ජවය සපයන වෛරී දේශපාලනයෙන් ඈත්වීම අපගේ අලුත් අවුරුදු ප්‍රාර්ථනා අතරට එක්‌විය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 2015 නව වසරට සුබ පැතුම් එක්‌කරමින් කියා සිටී.

ජනාධිපතිවරයාගේ එම සුබ පැතුම් පණිවුඩයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

ජාතිය නැංවීමේ අනාගත බලාපොරොත්තු රාශියක්‌ සමඟ එළඹෙන්නා වූ 2015 නව වසර අපි පිළිගනිමු. අප නව වසරට පා තබන්නේ ඒ ප්‍රාර්ථනා ඉටුකර ගැනීම සඳහා කැපවීමේ දැඩි අධිෂ්ඨානයෙනි.

ගෙවී ගිය දශකයේ සෑම වසරකම ආරම්භයේ ඇතිකරගත් ප්‍රාර්ථනා එලෙසින්ම ඉටුකරගැනීමට අපට හැකිවිය. සිය වසක වැඩ ගෙවී ගිය දස වසකට ආසන්න කාලයකදී ඉටු කර ජාතිය ගොඩනැංවීමට අපට හැකි විය. ඒ සියල්ල රැකගෙන සුරක්‍ෂිත රටක්‌ ගොඩනැගීම අප ඉදිරියේ ඇති වගකීමය. ඒ සඳහා ඇති අභියෝග ඉමහත්ය.

අපරිමිත කැපකිරීම්කොට පරාජය කළ බෙදුම්වාදය නැවත නැවතත් නොයෙක්‌ වෙසින් හිස ඔසවයි. බෙදුම්වාදයට ජවය සපයන වෛරී දේශපාලනයෙන් ඈත්වීම අපගේ අලුත් අවුරුදු ප්‍රාර්ථනා අතරට එක්‌ විය යුතුය. ජාතික සමගියත් රටේ ස්‌වෛරීභාවයත් අගයන සියල්ලෝ එක්‌සත්ව එක්‌සිත්ව දැයේ සුරක්‍ෂිත බව ඇති කිරීමට දූරදර්ශී විය යුතුය.

දිනාදුන් රට කිසිවෙකුටත් පසුපසට ඇද දැමීමට මම ඉඩ නොතබමි. ජනතාවගේ සැබෑම අපේක්‍ෂාව ඒ රට සුරක්‌ෂිතවනු දැකීමය.

දැඩි අධිෂ්ඨානයෙන් හා ඉවසීමෙන් කටයුතු කර ගොඩනැගූ මාතෘභූමිය සුරක්‍ෂිත කොට ලොව දිනීම ලැබූ නව වසරේ ප්‍රාර්ථනාව ය. ජාතියේ ජයග්‍රාහී වසරක්‌ බවට මෙම වසර පත්කිරීමට ඔබ සැමට ශක්‌තිය ධෛර්ය ලැබේවා ! යි ප්‍රාර්ථනා කරමි.

ලැබුවා වූ නව වසර ඔබ සැමට සුබ නව වසරක්‌ වේවා ! යි ප්‍රාර්ථනා කරමි.

Facebook
Twitter
LinkedIn