“2015 නිදහසේ සහ යහපාලනයේ වසරක් වේවා…! නීතිය, සාධාරණත්වය, ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කරමු !” යනුවෙන් සඳහන් කරමින් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා නව වසරට සුභපැතුම් ඒකකරමින් සඳහන් කර සිටී.
එම සුභපැතුම් පණිවිඩයේ යැඩිදුරටත් මෙසේද සඳහන් වේ…
“2015 ඔබේ නිදහසේ සහ යහපාලනයේ වසරක් වේවායි මම ප්‍රාර්ථනා කරමි. යුද බිය, කැරලි කෝලාහල මගින් ඇති වූ ලේ වැගිරීම් නිසා අපහසුතාවට පත්ව සිටි ජනතාවක් සාමයේ බලාපොරොත්තු ඇති කරගත්හ. එහෙත් බලාපොරොත්තු බිඳවැටී සමාජය තුළ බිය සැක ව්‍යප්ත විය. නීතිය බිඳ වැටී, නීතියේ ආධිපත්‍යයට අභියෝග එල්ල වන පරිසරයක් නිර්මාණය වී තිබේ. පවුල් වාදයේ අඳුරු සෙවනැලි මතින් ජන ජීවිතය භීතියට සහ පීඩනයට පත්කර ඇත. ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථික මර්මස්ථාන අතීතයේ කෙදිනකටත් වඩා විදේශිකයන් සතුවිය. ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය දැඩි ලෙස බිඳවැටී තිබේ. එය රාජ්‍යයක් ලෙස හුදෙකලා හෙවත් කොටූ වීමට හේතුවක් වී ඇත. පවතින තත්ත්ව යටතේ ශ්‍රී ලංකාව සහ එහි ජනතාව පතුලක් නොපෙනෙන අගාධයකට ඇද වැටෙමින් තිබේ. එම තත්ත්වයෙන් ශ්‍රී ලාංකේය ජනතාව මුදා ගැනෙන, නිදහසේ සහ යහපාලනයේ වසරක් අදින් උදාවේවා යැයි, මම එකසිතින් ප්‍රාර්ථනා කරමි.
විවිධ අර්බුද හමුවේ බිඳ වැටුණු, කඳුළු සහ වැලපීම්වලින් නිර්මාණය වූ පීඩනය ඉවත් කිරීම සඳහාත්, අනාගත දරු පරපුරට යහපත්, නිදහස්, නිවහල්, සාධාරණ සමාජයක් බිහි කිරීම සඳහාත් නිවැරදි තීන්දුවක් ගැනීමේ අවස්ථාව වසරේ මුල් දින කිහිපය ඇතුළතම ඔබට හිමිව තිබේ. එය වටහා ගනිමින්, අඳුරු යුගයක අවසානය සනිටුහන් කර, නව යුගයක් ඇරඹෙන වසරක් උදාවනු ඇතැයි මම විශ්වාස කරමි. බෙදුණු ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ සමාජ සාධාරණත්වය, එ්කීයත්වය, එක්සත්භාවය සහ ප්රජාතන්ත්රවාදය සපිරි සමාජයකි. බෙදීම් ඉවත් කිරීමට එය සාධකයක් වෙයි. සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවට සම අවස්ථා හිමිවිය යුතු බව මම තරයේ විශ්වාස කරමි. එවැනි සාධාරණ, නීතිගරුක, යුක්තිගරුක සමාජයක් 2015 වසරේ නිර්මාණය කරමින්, යහපාලනය සහ මානව නිදහසේ වසරක් ලෙස එය පවත්වාගෙන යාමට ඔබට හැකිවේවායි මම ප්‍රාර්ථනා කරමි.
සුබ නව වසරක්…!”









