යළිත් ගෑස් හිඟයක් මතුවෙයි

යළිත් ගෑස් හිඟයක් මතුවෙයි

මේ වනවිට වෙළෙඳපොළේ ගෑස් හිඟයක් නිර්මාණය වී ඇතැයි පාරිභෝගික ජනතාව සඳහන් කරති.

මේ බව රටේ බොහෝ ප්‍රදේශවල අලෙවි නියෝජිතයන්ද පවසයි.

“අපි දැන් අහන්නෙත් නැහැ… හොයන්නෙත් නැහැ… ආවොත් විකුණනවා… නැත්නම් නිකන් ඉන්නවා… මම ගෑස් කඩේ මුදලාලි වෙලා දැන් මටත් නැහැ… මම ගියා කිලෝමීටර් 15ක් 20ක් හැරිලා ආවා ගෑස් එකක් නැතුව. ගෑස් නැත්තටම නැති කරලා. අපි කඩවල් ඇරගෙන ඉන්නවා දවස් ගානක් ගෑස් එයි කියලා ගෑස් ආවේ නැහැ.” යැයි ගෑස් අලෙවි නියෝජිතයෝ පවසති.

මේ අතර ලිට්‍රෝ සමාගමේ අනාවරණ කරන්නේ ඉකුත් සිකුරාදා සිටම ලිට්‍රෝ ගෑස් බෙදාහැරීම සම්පූර්ණයෙන්ම නතර වී ඇති බවයි.

ඒ අනුව ආදාහනාගාර, කර්මාන්තශාලා සහ මහා පරිමාණ හෝටල් සඳහාද ගෑස් සිලින්ඩර නිකුත් කිරීම නතර කර තිබේ.

ගෑස් රැගත් නෞකා 03ක් දින 06ක සිට මෙරට මුහුදේ නැංගුරම්ලා ඇති අතර ඩොලර් අර්බුදය හමුවේ මෙරට වාණිජ බැංකු ණයවර ලිපි නිකුත් නොකිරීම ගැටලුවට හේතු වී ඇති බව ලිට්‍රෝ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

වෙළෙඳපොළේ පවතින ගෑස් හිඟය හේතුවෙන් ආපනශාලා, බේකරි ඇතුළු ක්ෂේත්‍ර රැසකට මේ වනවිට බලපෑම් එල්ල වී තිබේ.

මේ අතර ඉදිරි දින 03 තුළ ඉන්ධන සහ ගෑස් හිඟයක් තවදුරටත් පැවතියහොත් ඉදිරියේදී බේකරිවලින් 75%ක් වසා දැමීමට සිදුවන බව කුඩා හා මහා පරිමාණ බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

Facebook
Twitter
LinkedIn