ආණ්ඩුවේ තීරණයකට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙගාවොට් 200ක හදිසි විදුලිය මිලදී ගැනීමේ යෝජනා කැඳවීමට ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (05) තීරණය කර ඇති බව ද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහන්ත අබේසේකර එම පුවත්පතට පවසා ඇත්තේ හදිසි විදුලිය මිලදී ගැනීමේ අවශ්‍යතාවය මතුව ඇති බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත ලංකා විදුලිබල මණ්ඩලය එය සිදු කරන බවත්ය.
මීට පෙරද බොහෝ වර්ෂවල මෙලෙස හදිසි විදුලිය මිලදී ගැනීම් සිදු කර තිබෙන අතර ඒ සඳහා අධි ධාරිතා ගාස්තු ගෙවීමට සිදුව තිබේ. මේවරද එලෙසම අධි ධාරිතා ගාස්තු ගෙවීමට සිදුවන බැවින් මෙම ක්‍රියාමාර්ගය මිල අධික වනු ඇත.
ජනවාරි මාසයේ සිට නියමිත පරිදි විදුලිය කප්පාදු කිරීමේ අවශ්‍යතාවය ලංවිම අවධාරණය කර තිබුණද මහජන උපයෝගිතා කොමිසම එම පියවර දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම නිසා දැවැන්ත අර්බුදයක් හටගෙන ඇති බව ඔවුහු පවසති.
සාමාන්‍යයෙන් ලංවිම මාස 03ක් 06ක් වැනි කෙටි කාලීනව හදිසි විදුලිය මිලදී ගත්තද මධ්‍ය කාලීන පදනමින් මෙගාවොට් 200ක හදිසි විදුලිය ලබා ගැනීමට රජය තීරණය කර ඇති අතර එය ලංවිම පාඩුව තවත් වැඩි කරනු ඇතැයි ලංවිම ආරංචිමාර්ග සඳහන් කරයි.
සෑම වසරකම ජනවාරි සිට මැයි දක්වා මුහුණදීමට සිදුවන නියඟයේ ප්‍රතිඵලයක් ලෙස පෞද්ගලික ඩීසල් බලාගාර තුනකින් 2021 දෙසැම්බර් සිට ජනවාරි දක්වා අඩු මුදලකට විදුලිය මිලදී ගැනීමට විදුලිබල මණ්ඩලයේ හිටපු අතිරේක සාමාන්‍යාධිකාරී ජානක අලුත්ගේ සැලසුම් සකස් කර තිබුණි. නමුත් ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමි වී නොතිබිණි.
කෙසේ වෙතත් මෙලෙස විදුලිය මිලදී ගැනීම පිටුපස දැවැන්ත කොමිස් සහිත වංචාවක් සිදුවන බව පසුගිය කාලයේ කෝප් කමිටුව හරහාද අනාවරණය වි තිබිණි.









