සීනි බදු වංචාව සම්බන්ධයෙන් ජවිපෙ පෙත්සම සලකා බැලීමට අධිකරණය තීරණය කරයි…

සීනි බදු වංචාව සම්බන්ධයෙන් ජවිපෙ පෙත්සම සලකා බැලීමට අධිකරණය තීරණය කරයි…

සීනි ආනයනයේදී පනවා තිබූ බදු අඩුකර එමගින් රජයට පාඩුවක් සිදු කිරීම ගැන චෝදනා කරමින් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීම සඳහා ජූලි මස 27 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝග කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ ගොනුකර ඇති එම පෙත්සමෙහි සඳහන් වන්නේ, සීනි ආනයනයේ දී පනවා තිබූ බදු අඩු කිරිම තුළින් පෞද්ගලික සමාගමකට රුපියල් කෝටි 1,500කට අධික ලාභයක් අත්කර ගැනීමට ඉඩ සැලැස්වීම තුළින් රජයට පාඩුවක් සිදුකර ඇති බවය.

මෙම පෙත්සම අද ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන්ගේ නාමාවලියට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ වගඋත්තරකරුවන් කිහිපදෙනෙකු එක් කිරීම සඳහා ඊට සංශෝධන සිදු කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා තිබේ.

ඒ අනුව වගඋත්තරකාර නාමාවලිය සංශෝධනය කිරීමට පෙත්සම්කාර පාර්ශ්වයට අවසරදුන් අධිකරණය එය සලකාබැලීම සඳහා ලබන ජූලි මස 27 වනදා කැඳවන ලෙස නියෝග කර ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අගමැති මහින්ද රාජපක්ෂ, භාණ්ඩාගාර ලේකම් එස්.ආර් ආටිගල ඇතුළු 07 දෙනකු නම් කර සිටිති.

මෙම පෙත්සම ගොනු කර තිබුණේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති විසිනි.

Facebook
Twitter
LinkedIn