පැරණි ක්‍රමයට ඉක්මන් පළාත් සභා මැතිවරණයක්

නව ඡන්ද ක්‍රමයක් ඇති කරන තුරු පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණ කඩිනමින් පැවැත්විය යුතු යැයි මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත්කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාවෙන් නිර්දේශ කිරීමට එම කාරක සභාවේ එකඟත්වය හිමිවූ බව එහි සභාපති සභානායක දිනේෂ් ගුණවර්ධන පවසයි.

සියලු ඡන්ද විමසීම්වලදී කොට්ඨාශ (කේවළ) ක්‍රමයට 60%ක් සහ අනුපාතික ක්‍රමයට 40%ක් වශයෙන් ජනතා නියෝජිතයන් තෝරා ගන්නා ආකාරයේ මිශ්‍ර ඡන්ද ක්‍රමයක් මූලධර්මයක් ලෙස පිළිගෙන වාර්තාව කෙටුම්පත් කිරීමටද විශේෂ කාරක සභාව එකඟ වූ බව ඔහු සඳහන් කරයි.

පළාත් පාලන ආයතනවල බහුතර ස්ථාවරභාවය ඇතිකිරීම සඳහා ජයග්‍රාහී පක්ෂයට හෝ කණ්ඩායමට අතිරේක මන්ත්‍රී ධුර 02ක් ලබා දීම සඳහාත් නිර්දේශ කිරීමටද ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවට පැමිණි බවද ඔහු පවසයි.

සියලු මැතිවරණවලදී කාන්තා නියෝජනය 25%ක් ලෙස පවත්වා ගැනීමට සහ තරුණ නියෝජනය අනිවාර්ය කිරීමටද නිර්දේශ කිරීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවය පළ වී ඇත.

මෙම රැස්වීමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ.සුමන්දිරන්, රන්ජිත් මද්දුම බණ්ඩාර, අනුර දිසානායක, මනෝ ගනේෂන්, මධුර විතානගේ, රවුෆ් හකීම් යන මහත්වරුන්ද සහභාගි තිබේ.

Facebook
Twitter
LinkedIn