කොරෝනා වසංගතයත් සමග ලොව පුරා උග්‍රවෙමින් පවතින ආර්ථික අර්බුදය හමුවේ විශාල ප්‍රමාණයකට රැකියා අහිමි වී ගොස් ඇති අතර ඊට සමගාමිව දරිද්‍රතාවයද ඉහල ගොස් ඇත. ඕමික්‍රෝන් නව ප්‍රභේදය හේතුවෙන් ලෝක කොටස් වෙළඳපලවල්ද අවසන් වනුයේ ඍණ අගයන් වාර්තා කරමිනි. එහෙත් මෙම සියළු අර්බුද මධ්‍යයයේ වුවත් සෑම පැය 26කට වරක් කෝටිපතියෙකු බිහිවනුයේ එම කාලය තුලදීම පුද්ගලයින් මිලියන 160ක් දුප්පත්කමට ඇද දමමින් බව oxfarm සංවිධානය නිකුත් කල නවතම වාර්තාවක සඳහන් වේ. ඒ අනුව මෙම අසීමිත ප්‍රාග්ධනයන් ඉලක්ක කරමින් නව බදු ප්‍රතිපත්තියක් එම වාර්තාව විසින් යෝජනා කර සිටි.
වසර දෙකක වසංගත කාලය තුලදී පමණක් ඇමසන් අධිපති jeff Bezos හා Elon Musk විසින් ඩොලර් බිලියන 1500ක් උපයා ඇති අතර ලෝක ආර්ථිකය වෙලා ගනිමින් සිටින උද්ධමන තත්වය හේතුවෙන් ඇතිවී තිබෙන මිල ගණන් ඉහලයාම තුල ඔවුන්ට මෙම වාසිය ලැබීම එක් හේතුවකි. එසේම කොරෝනා වසංගතය තුලදී සෞඛ්‍ය කේෂ්ත්‍රය තුල එනම් PCR පරීක්‍ෂණ, ඖෂධ සමාගම්, එන්නත් සෙවීමේ පරීක්‍ෂණ තුල සිදුකරන ලද ආයෝජන තුලින් පමණක් ආයෝජකයින් විසින් ඩොලර් බිලියන 5000ක් පසුගිය මාස 19තුලදී පමණක් උපයා ගෙන ඇති බව oxfarm වාර්තාව මගින් සනාථ කරනු ලබයි. මෙම නව කෝටිපතියන් 252දෙදෙනාට ලෝක ආර්ථිකයෙන් 40%ක් මෙහෙය වීමට හැකියාව ලැබී ඇත.
නමුත් ලෝක රාජ්‍ය නායකයින් ජනතාවගේ වැඩ කිරීමේ කාලය ඉහල දමමින්, විශ්‍රාමයාමේ කාලය දීර්ඝ කරමින් තව තවත් හාම්පුතුන්ගේ අසීමිත කොන්දේසි පිළිගන්නා ලෙස කම්කරු පංතියට බලකර සිටින බවත් එජා සංවිධානය හා සම්බන්ධ ජාත්‍යන්තර කම්කරු සංවිධානය පසුගියදා නිකුත් කරන ලද නවතම වාර්තාවක් මගින්ද පෙන්වා දෙනු ලැබුවේ කොරෝනා වසංගතය හේතුවෙන් 2022 අවසන් වන විට රැකියා අහිමිවූවන් සංඛ්‍යාව තවත් මිලියන 207ක් දක්වා ඉහල යාමට ඉඩ ඇති බවයි.
මෙම සියළු කාරණා සැලකිල්ලට භාජනය කරමින් oxfarm සංවිධානය ලෝක නායකයින්ට යෝජනා කරනුයේ අදාළ කෝටිපතියන් මෙම මුදල් උපයාගෙන ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය ආයතන හා ධනවත් රටවල මධ්‍යම බැංකු විසින් මුදාහරින ලද දහස් ගණනින් යුත් මුදල් වල සහය ඇතිව හා ඒවා විවිධ කේෂ්ත්‍ර තුල ආයෝජනය කිරීමෙන් නිසා ඔවුන් උපයාගත් මුදල් වෙත බදු මුදලක් අය කල යුතු බවත්ය.
ඒ අනුව ඩොලර් මිලියන 5කට අධික මුදලක් උපයන අයෙකුට 2%ක් බද්ධකුත්, මිලියන 50කට අධිකව උපයන අයෙකුට 3%කුත්, ඩොලර් බිලියනයක් උපයන අයෙකුට 5%ක් ලෙස බදු ගැසිය යුතු බව යෝජනා කර සිටි. මෙම බදු ප්‍රතිපත්තිය මත ඩොලර් බිලියන 2520ක් සොයා ගත හැකි බවත් එමගින් බිලියන 2.3ක් ජනතාවක් දරිද්‍රතාවයෙන් මුදවා ගත හැකි බවත් oxfarm වාර්තාව පෙන්වා දේ. එසේම මෙම මුදල මගින් පුද්ගලයින් බිලියන 3.6ක ගේ සෞඛ්‍ය තත්වය ඉහල නැංවිය හැකි බවත් මේ දක්වා එන්නත්කරණය අඩුම ප්‍රතිශතයක් වාර්තා කරන අප්‍රිකානු මහද්වීපයේම (7%-10%) ජනතාව කොරෝනා වසංගතයට එරෙහිව එන්නත්කරණය කල හැකි බවත් අවධාරණය කරති.
මෙම යෝජනාවලිය පසුගිය ජනවාරි 17 වැනිදා ස්විස්ටර්ලන්තයේ දාවොස් නගරයේ මුළුදුන් ලෝක ආර්ථික සමුළුව වන (World Economic Forum) වෙතද ඉදිරිපත් කරනු ලැබූ අතර ලෝක කෝටිපතියන් 100දෙනෙකු ගෙන් සැදුම් ලත් “දේශප්‍රේමී කෝටිපතියන්” සංවිධානය විසින්ද එයට තම අනුමැතිය හා සහය ලබාදෙනු ලැබුවේ ලෝක බදු ප්‍රතිපත්තිය තුල ඇති අත්තනෝමතිකත්වය හා දුර්වලතා හේතුවෙන් ඇතිවී ඇති අසමානත්වය පිළිගනිමිනි.










