කොළඹ වරායේ බටහිර පර්යන්තය සඳහා වන ගිවිසුම අද (30) දහවල් කාලයේදී ඉන්දියාවේ අදානි සමාගම සමඟ අත්සන් කිරීමට නියමිත බව වාර්තාවේ.
වරායේ නැගෙනහිර පර්යන්තය ඉදිකිරීම සහ මෙහෙයුම් කටයුතු සිදු කිරීම ඉන්දියාවට ලබා දීමට ආණ්ඩුව උත්සහ කළද වෘත්තිය සමිති සහ මහජන විරෝධය හමුවේ එය හකුලා ගැනීමට ආණ්ඩුවට සිදුවිය. පසුගිය පෙබරවාරි පළවෙනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් කැබිනට් මණ්ඩලය විසින් නැගෙනහිර පර්යන්තය ඉදිකිරීම් කටයුතු වරාය අධිකාරියටම පැවරීමට තීන්දු කරනු ලැබීය.
මෙම ව්‍යාපෘතිය සිදුකිරීම සඳහා 2019 දී පාර්ශවකරුවන් බවට පත් කරගෙන සිටි ඉන්දියාව සහ ජපානය මේ තීන්දුවත් සමඟ සිය අප්‍රසාදය ප්‍රකාශයට පත් කර සිටින ලදී. ඉන්පසු පසුගිය මාර්තු මාසයේදී නැගෙනහිර පර්යන්තය වෙනුවට බටහිර පර්යන්තය ඉදිකිරීම සහ මෙහෙයුම් කටයුතු සිදු කිරීම ඉන්දියාවේ අදානි සමාගමට පැවරීමට ආණ්ඩුව තීන්දු කරනු ලැබීය. අදානි සමාගම ශ්‍රී ලංකාවේ සිය හවුල්කරුවා ලෙස ජෝන් කීල්ස් පුද්ගලික සමාගම නම් කරන ලදී. මේ අනුව අද දහවල් බටහිර පර්යන්තය සඳහා වන ගිවිසුම ශ්‍රී ලංකා රජය, අදානි සමාගම සහ ජෝන් කීල්ස් සමාගම අතර අත්සන් තබනු ඇත.
නැගෙනහිර පර්යන්තය යළි වරාය අධිකාරියට පවරා ගැනීමත් සමග ආණ්ඩුව ප්‍රකාශ කළේ එය සංවර්ධනය කර මෙහෙයුම් ආරම්භ කරන බවයි. එහෙත් පසුගිය මාස 08 තුළ කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු නොවූ බවත් කන්ටේනර මෙහෙයුම් සඳහා අවශ්‍ය ග්‍රැන්ටි දොඹකර මිලදී ගැනීම සඳහා කිසිදු වැඩපිළිවෙලක් තවමත් ආණ්ඩුවට නොමැති බවත් වරාය සේවකයෝ පවසති.










