තුෂාන් ගුණවර්ධනට තර්ජන

තුෂාන් ගුණවර්ධනට තර්ජන

පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්ෂ ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්වූ තුෂාන් ගුණවර්ධනට මේ වනවිට දුරකතන මාර්ගයෙන් විවිධ තර්ජන එල්ල වෙමින් තිබෙන බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන තුෂාන් ගුණවර්ධන සඳහන් කරන්නේ සිය ජංගම දුරකතනයට “වට්ස් අප්” පණිවිඩ ඔස්සේ විවිධ තර්ජන කිරීම් දිගටම සිදු කෙරෙන බවය.

“ඉදිරියේදී බලාගමු”, “පරිස්සම් වෙන්න” යනාදි වශයෙන් මෙලෙස තර්ජනය කිරීම් කෙරුණු බවද මේ තර්ජන කිරීම් සම්බන්ධයෙන් තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බවද ඔහු පවසයි.

මේ අතර තමා ජනාධිපතිවරයා ළඟදීම හමුවී සතොස දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා හමුවීමට දැනටමත් දිනයක් ඉල්ලා ඇති බවත් හෙතෙම සඳහන් කරයි.

සතොස දූෂණ වංචා රැසක තොරතුරු ඇතුළත් ලිපිගොනු රැසක් තමා ළඟ ඇති බව පැවසූ ඔහු සතොස ආයතනවල තේ පානයට පමණක් මාසයකට රුපියල් ලක්ෂ 30කට වැඩි මුදලක් වැය කෙරෙන බවද පවසයි.

සමහරුන්ට තේ පානය සඳහා චීස් පවා අවශ්‍ය කෙරෙන බව ඔහු සඳහන් කරයි.

එසේම සතොස ආයතන සතු වාහන විශාල ප්‍රමාණයක් නිකරුණේ ගාල් කර තිබියදී පිට වාහන රැසක් කුලියට ගෙන ඇත්තේ කාගේ වුවමනාවට දැයි ඔහු ප්‍රශ්න කර සිටියි.

Facebook
Twitter
LinkedIn