කෙරවලපිටිය බලාගාරයේ කොටස් ඇමරිකාවට විකිණීම සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මූලිකත්වයෙන් පැවති කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කළ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි. එහිදී ජනාධිපතිවරයා විසින් එම ව්‍යාපෘතිය ඇමරිකාවට ලබා දීමෙන් ඇතිවන ආර්ථික වාසියත්, රටේ අවශ්‍යතාවයත් පැහැදිලි කරදුන් බවද ඔහු වැඩිදුරටත් කියා සිටී.
“මේක දීපු එක සම්බන්ධයෙන් පැහැදිලිව කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ගෙනාවා. ඒ පත්‍රිකාවට සියලුදෙනාම එකඟ වුණා. ජනාධිපතිතුමා මේකෙ තියෙන ආර්ථික වටිනාකමත්, රටේ අවශ්‍යතාවයත් පැහැදිලි කරලා දුන්නා. ඒ වෙලාවේ කවුරුත් කතා කළේ නැහැ. ඒ නිසා දැන් ඒක ක්‍රියාත්මක වෙනවා” යනුවෙන් මාධ්‍යවේදීන් හමුවේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කර සිටියා.
ඇමරිකානු සමාගම සමග ශ්‍රී ලංකාවේ ආණ්ඩුව එම ගිවිසුම අත්සන් කළේ සැප්තැම්බර් 17 සිකුරාදා මධ්‍යම රාත්‍රී 12.06ටය. පැය කීපයකට පසුව එක්සත් ජාතීන්ගේ 76වන මහසමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇමරිකාව බලා පිටත්ව යන ලදී.










