ඊයේ (21) සවස හදිසි කැබිනට් සංශෝධනයක් කිරීමට නියමිතව තිබුණද එය කළ නොහැකි තත්වයකට පත්ව තිබීම නිසා අත්හැර දමා ඇති බව අනාවරණය වේ. ශ්‍රිලනිපයේ මහාලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා වශයෙන් පිළිගෙන ඔහු සමග එකතු වූ නියෝජ්‍ය ඇමතිවරයා සහ කැබිනට් ඇමතිවරුන් දෙදෙනාගේ ඇමති ධූරවලින් ඉවත් කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක නිවේදනයක් නිකුත් කර තිබිණ. එම පුරප්පාඩු පිරවීම සඳහා හදිසි කැබිනට් සංශෝධනය සිදු කිරීමට නියමිත වුවද ඇතිවී තිබෙන බරපතල තත්වය හමුවේ එය අත්හැර දැමූ බව අනාවරණය වේ.
කැබිනට් මණ්ඩලයේ දැනට සිටින අතලොස්සක් ඇමතිවරු හැරුණු විට සෙසු සියල්ලන් ජනාධිපතිවරයාට සැක සහිත පුද්ගලයින් වී සිටීම නිසා මෙවැනි තත්වයක් ඇති වී තිබෙන බව ආණ්ඩු පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරයි.
පසුගිය 19වනදා රාත්‍රිය වනවිටත් මන්ත්‍රී ධූර 160ක් සහිතව 2/3 බලයක් තිබූ ආණ්ඩුවට මේ වනවිට ප්රකාශිතව මන්ත්‍රී ධූර හතක් අහිමිව තිබේ. ආණ්ඩුව හැරගොස් සිටින අය අතර මුලින්ම සිටින්නේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ පාඨලී චම්පික රණවක ඇමතිවරයාය. මේ අනුව ආණ්ඩුව හැර ගොස් සිටින මුළු සංඛ්‍යාව 9කි. තව මන්ත්‍රීවරුන් තිදෙනෙකු ආණ්ඩුව හැර ගිය හොත් තුනෙන් 2 බලය අහිමි වේ.








