අවුලක් නැහැ…. වැඩට එන්නලු…

අවුලක් නැහැ…. වැඩට එන්නලු…

මෙරට සියලුම දිස්ත්‍රික්කවල ජනගහණයෙන් ඉහළ ප්‍රතිශතයක් එන්නත්කරණයට ලක්වී ඇති බැවින් සහ රාජ්‍ය සේවකයන් බහුතරයක්ද එන්නත්කරණයට ලක්ක වී ඇති බැවින් රාජ්‍ය සේවා සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යන බව සඳහන් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව සෑම රාජ්‍ය ආයතනයක්ම ලබන 02වනදා සිට 100%ක ධාරිතාවයෙන් පවත්වාගෙන යාමට අවසර හිමිවේ.

එම නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පල වේ.

“රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම…

ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි එන්නත්කරණයට ලක්විය යුතු ජනගහණයෙන් ඉහළ ප්‍රතිශතයකට මේ වනවිට එන්නත්කරණය සිදුකර තිබේ. රාජ්‍ය සේවකයන් බහුතරයක් ද එන්නත්කරණයට ලක්කර ඇති බැවින්, රාජ්‍ය සේවා සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමට ප්‍රමුඛත්වය දිය යුතුව ඇත.

එම නිසා කොවිඩ් සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට යටත්ව 2021 අගෝස්තු මස 02 වනදින (සඳුදා) සිට සියලුම රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සඳහා කැඳවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාට දැනුම් දී තිබේ.

කොවිඩ් රෝගය පාලනය පහසු කිරීම සඳහා සීමිත කාර්ය මණ්ඩල චක්‍රීය පදනම මත කැඳවමින් සහ නිවසේ සිට රාජකාරී සිදුකිරීමට අදාළව නිකුත් කර ඇති සියලුම චක්‍රලේඛ අවලංගු කරන ලෙස ද ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය
2021-07-30″

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්