ආණ්ඩුව විසින් මහා පරිමාණ මෝල් හිමියන්ට ගොවීන්ගෙන් තුට්ටු දෙකට වී මිලට ගැනීමේ ‘ලයිසන්’ එකක් ලබාදී ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න චෝදනා කරයි.
පසුගියදා ආණ්ඩුවේ බලධාරීන් මහා පරිමාණ මෝල් හිමියන් කැඳවා නාඩු වී කිලෝව රුපියල් 50ටත් සම්බා වී කිලෝව රුපියල් 52ටත් සහතික මිලක් නියම කරමින් ඊට වැඩි මිලට වී මිලට ගතහොත් නඩු දමන බවට බොරු නියෝගයක් රටට පෙන්වූ නමුත් එමඟින් පැහැදිලි වන්නේ ඊට අඩු මිලට ගොවීන්ගෙන් වී මිලට ගත හැකි අවස්ථාව සලසා දුන් බව යැයිද ඔහු පෙන්වා දුන්නේය.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ආණ්ඩුව පොරොන්දු වී තිබුණේ නාඩු කිලෝව රුපියල් 52කටත් සම්බා කිලෝව රුපියල් 57කටත් කීරි සම්බා කිලෝව රුපියල් 63කටත් යන සහතික මිල ගණන් යටතේ වුවත් එම පොරොන්දු සියල්ල කඩමින් ආණ්ඩුව මහා පරිමාණ මෝල් හිමියන් පෝසත් කර එමඟින් කොමිස් කුට්ටි කඩාගැනීම දිගින් දිගටම කරගෙන යන බව ඔහු අවධාරණය කරයි.
ඔහු පැවැසුවේ නිෂ්පාදන වියදම ඉහළ යෑම, පොහොර නොමැතිකමින් වී බොල් වීම ඇතුළු අස්වැන්න කඩාවැටීම යන කාරණා සමඟ ගොවීන් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති මොහොතේ ආණ්ඩුව මෙරට මෝල් හිමියන්ගෙන් කොමිස් ලබාගන්නා අතර පිටරටින් සහල් ගෙන්වා එමඟින්ද කොමිස් ලබාගනිමින් තම තමන්ගෙ බැංකු ගිණුම් තර කරගන්නා බවය.
එසේම වී සහ සහල් මිල ගණන් අතර තුලනයක් නොමැති බවද සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න වැඩිදුරටත් පැවැසීය.
අනුරාධා හේරත් – මව්බිම










