ඓතිහාසික කුරුණෑගල රාජධානියේ ජීවමාන සාක්ෂියක් ලෙස පැවති පෞරාණික බුවනෙකබාහු රාජ මණ්ඩපය යැයි සැලකෙන ගොඩනැගිල්ල පසුගිය ජුලි 14 වනදා රාත්‍රියේ ඩෝසර් කර කඩා විනාශ කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු අපරාධකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන්ට ලබන මැයි 18 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අභියාචනාධිකරණය අද (04) නියෝග කර තිබේ.
ඒ අදාළ පෙත්මස අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.
එහි වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පති වරයා, කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂක කපිල අධිකාරි, පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක, කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, කුරුණෑගල නගර සභාව සහ නීතිපතිවරයා නම් කොට ඇත.
මෙම ඓතිහාසික ගොඩනැගිලිල ඩෝසර් යොදා කඩා විනාශ කර අදට මාස 07යි දින 20ක් ගත වී ඇතැයිද ඊට එරෙහිව පැමිණිලි 05ක් සහ නඩු දෙකක් ගොනු කර ඇතත් මේ දක්වා කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැතැයිද සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න සඳහන් කරයි.














