හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලකෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාට එල්ල වූ වෙඩි ප්‍රහාරය කුමන්ත්‍රණයක් බවත් එය හෙළිකර ගන්නා තුරු ඔහුගේ අවමංගල්‍ය කටයුතු අවසන් නොවන බවත් ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කියා සිටී.
පසුගිය 12 වනදා රාජගිරියේ එම අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ වාසුදේව අමාත්‍යවරයා භාරත ඝාතනයට එරෙහිව පෙළ ගැසෙන ජනතා බලවේග සමඟ හදවතින් එක්ව සිටින බවත් භාරත ඝාතනය පෞද්ගලික තරඟයක් නිසා සිදුවූවක් යැයි විශ්වාස කරන බවත් පැවසීය.
මෙහිදී පොලීසියේ ක්‍රියාකාරිත්වය පිළිබඳව විවේචනාත්මකව අදහස් පළකළ අමාත්‍යවරයා පොලිස් නිලධාරීන් නීතිය අතට ගෙන සිදුකරන ඝාතනවලට එරෙහිව පෙළ ගැසිය යුතු බවත් ආයුධ සොයාගැනීමට ගිය අවස්ථාවක පහරදීමට උත්සාහ කළ බව හෝ වෙනස් හේතුවක් කියමින් ඝාතනය කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත් වැඩිදුරටත් සඳහන් කළේය.









