සිරියාවේ ගැටුම්වලින් 3000 ක් මරුට

මාර්තු මාසයේ සිට මේ දක්වා සිරියාවේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ හේතුවෙන් 3000 කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

මේ අතර 14 වැනිදා සිරියාවේ නගර කිහිපයක පැවැති ගැටුම්වලින් 19 දෙනෙක් මියගොස් තිබේ.  ජනාධිපති බෂාර් අල් අසාද්ගේ ආණ්ඩුවට එරෙහිව උතුරුදිග බනාෂ් නගරයේ පැවැති විරෝධතාවයකට රජයේ හමුදා විසින් කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙක් මියගොස් ඇත. දකුණු දිග හාරා නගරයේ සන්නද්ධ පුද්ගලයින් විසින් සෙබළුන් 9 දෙනෙක් වෙඩි තබා මරා දමා ඇත.

උද්ඝෝෂණ ඇරඹීමෙන් පසු දහස් සංඛ්‍යාත පිරිසක් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර ඩමස්කස් ආණ්ඩුව චෝදනා කරන්නේ, සන්නද්ධ ත්‍රස්ත කණ්ඩායම් රට තුළ අර්බුද ඇති කරන බවය.

සිරියානු ආණ්ඩුවේ මර්දනකාරීත්වයට එරෙහිව පසුගියදා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් වූ යෝජනාවක් චීනය හා රුසියාව නිෂේධ බලය පාවිච්චි කර පරාජය කරන ලදී. ඒ එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් විසින් සිරියාවට එරෙහිව ලිබියානු පන්නයේ මෙහෙයුමකට අර අදින බවට සැක කරමිනි. එහෙත් සිරියානු ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ප්‍රමාදවීමත් මර්දනකාරිත්වය උග්‍රවීමත් හමුවේ අසාද් ආණ්ඩුව පිළිබඳ ජාත්‍යන්තර මතය වෙනස් වීමේ ඉඩක්ද මතුව පවතී.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්