“උඩින් ඕඩර් දෙනවා අපිට කෙළවෙනවා”

රාජ්‍යසේවා කලමණාකරන සහකාර නිලධාරීන්ගේ සංගමයේ සභාපති යූ. පලිහවඩන මහතා සහ එම වෘත්තීය සමිතියේ තවත් සාමාජිකයින් පිරිසක් විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිටදී පසුගියදා අත්පත්‍රිකා බෙදා හැරීමේ කටයුත්තක නියැලී සිටි අවස්ථාවේ එම ස්ථානයට පැමිණි කුරුඳුවත්ත පොලීසියේ පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු පලිහවඩන මහතා ඇතුළු පිරිසට බාධා කර තිබේ.

විශ්‍රාමවැටුප් පාරිතෝශිකය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය විශ්‍රාමිකයන්ට බලපාන ආකාරය සම්බන්ධයෙන් එම සංගමයේ පැහැදිලි කිරීම සහිත අත් පත්‍රිකා එහිදී බෙදා හැර ඇති අතර පොලිස් නිළධාරීන් එයට විරෝධය දක්වා ඇත්තේ එම පත්‍රිකා බෙදීම මගින් පරිසරයට හානිසිදුවන බව පවසමිණි.

කෙසේ නමුත් එම බාධා කිරීමට එරෙහිව පලිහවන මහතා ඇතුළු පිරිස නීතීඥ සුනිල් වටගල මහතා මගින් මානවහිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. එයට අනුව සිදුකළ කැඳවීමේදී ඊට සහභාගීවූ පොලිස් නිළධාරීන් පලිහවඩන මහතා ඇතුලු පිරිස ඉදිරියේ බැගෑපත්වී ඇත්තේ මෙවැනි නඩු වැටීම් තම උසස්වීම් සඳහා බලපාන බවත් උසස්වීමක් නොලදහොත් සිය පඩිවැඩිවීම් සිදු නොවනබවත් පවසමිණි.

ලැබෙන පඩියෙන් දරුපවුල් ජීවත් කරවිය නොහැකි බවත් ඔවුන් ඉතා අසරණව පවසා තිබේ. කෙසේ නමුත් පැමිණිලිකාර පාර්ශවය පවසා ඇත්තේ ඒ සම්බන්ධයෙන් තමන්ද කනගාටු වන නමුත් මෙම පැමිණිල්ල පොලිස් නිලධාරීන් දෙදෙනා සමග ඇති පෞද්ගලික අමානාපකමකට ඉදිරිපත් කරන ලද්දක් නොව පොලිස් දේපාර්තමේන්තුව රටේ මුලීක ආණ්ඩුක්‍රමව්‍යවස්ථාව උල්ලංගණය කරමින් කටයුතු කිරීමට එරෙහිවීමක් පමණක් බවත්ය.

ඉන් පසු දිනක එම ස්ථානයේම පැවති රාජ්‍ය සේවක වැටුප් වැඩිකරන ලෙස ආණ්ඩුවට බලකෙරෙණ අත්පත්‍රිකා බෙදාහැරීමේ කටයුත්තටද මෙලෙසම පොලිස් කොස්තාපල්වරයෙකුත් පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකුත් පැමිණ සිදුකර ඇති බාධා කිරීමේදී පලිහවඩන මහතා ඇතුලු පිරිස පවසා ඇත්තේ ‍තවදුරටත් මෙවැනි බාධාකිරීම් සිදුකරන්නේනම් මානවහිමිකම් කොමිසමට නොව ඊළඟ පියවර තබන්නේ මූලික අයිතිවාසිකම් පෙත්සමකට බවයි. පසුව පොලිස් නිළධාරීන් ‍”උඩින් ඕඩර් දෙනවා අපිට කෙළවෙනවා” යයි කියමින් ඉන් ඉවත්ව තිබේ.

Facebook
Twitter
LinkedIn