ඊශ්‍රායලය සරණාගතයින්වත් මරා දමයි

ඊශ්‍රායලය විසින් දිගින් දිගටම පලස්තීන සිවිල් ජනතාව ඝාතනය කරමින් සිටින අතරතුරදී පසුගිය දිනක එක්සත් ජාතීන්ගේ පලස්තීන ජබාලියා සරණාගත කඳවුරටද පහර දී තිබේ. එයින් කුඩා ළමුන් ඇතුළු 15ක් පමණ මියගොස් 70කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ. මෙම සරණාගත කඳවුර පිළිබඳව 17 වරක් පමණ ඊශ්‍රායලයට දන්වා තිබුනද මීට පෙරද මෙම සරණාගත කඳවුරට, ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කර තිබේ.

ඊශ්‍රායලය විසින් ත්‍රස්තවාදීන් මර්ධනය කිරීමට බව පවසමින් පලස්තීනය ආක්‍රමණය කර අහිංසක දරුවන් හා කාන්තාවන් ඇතුළු 1300කට අධික පිරිසක් මේ වන විට ඝාතනය කර තිබේ. විශේෂයෙන්ම රෝහල්, නිවාස සහ පාසල් ඊශ්‍රායලයේ ඉලක්ක වී තිබේ. ඊශ්‍රායල් හමුදාව පවසන්නේ මේවා තුල ත්‍රස්තවාදීන් සැඟව සිටිය හැකි බැවින් ඉදිරියටත් ප්‍රහාර එල්ල කරන බවත් එම නිසා සිවිල් වැසියන් මියයාම සාමාන්‍ය සිදුවීමක් බවත්ය.

එහෙත් අති නවීන අවි ආයුධවලින් සන්නද්ධ ඊශ්‍රායල් හමුදාවේ අති දක්ෂ බලකායන්වල සෙබළුන් විසින් මෙසේ මරා දමන්නේ නිරායුධ අහිංසක සිවිල් ජනතාවය. එමෙන්ම තම ප්‍රහාර නිසා මියයන අහිංසක දරුවන් ඇතුළු සිවිල් වැසියන්ගේ මරණ පිළිබඳ වගකීම තමන් බාර ගැනීමට සූදානම් නැතැයිද ඔවුන් පවසති.

ඊශ්‍රායල් අගමැතිවරයාද පවසා තිබුනේ කෙතරම් බලපෑම් පැමිණියත් තම ප්‍රහාර නැවැත්වීමට සූදානම් නැති බවය. මේ නිසා තම ප්‍රහාරවලින් බේරීමට අවශ්‍ය නම් පලස්තීන වැසියන්ට ගාසා තීරයෙන් ඉවත් වන ලෙස හමුදාව දන්වා ඇත.

විශේෂයෙන් ඊශ්‍රායලයට ලැබෙන ඇමරිකානු සහයෝගය නිසා රිසිසේ තම ම්ලේච්ඡ ක්‍රියා ඉදිරියටත් පවත්වාගෙන යාමට හැකියාව ලැබී තිබේ. එමෙන්ම ජාත්‍යන්තරය හමුවේ ඊශ්‍රායලයේ ඝාතන ක්‍රියාවලියට විරුද්ධ රටවල කටවල් වැසීමටද එම සහයෝගය නිසා හැකියාව ලැබී තිබේ.

එමෙන්ම ප්‍රමුඛ පෙළේ බටහිර හිතවාදී මාධ්‍ය ආයතනද ඊශ්‍රායලයේ ඝාතනවල වගකීම පවරා ඇත්තේ ඊශ්‍රායලයට නොව පලස්තීනය පාලනය කරන හමාස් සංවිධානයටය. ඔවුන්ගේ තර්කය වී ඇත්තේ හමාස් සංවිධානය නිසා ඊශ්‍රායලයට මෙම ප්‍රහාර එල්ල කිරීමට සිදුවන බවත් එම නිසා වැරදිකරුවන් වන්නේ පලස්තීන හමාස් සංවිධානය බවත්ය. මෙම කැකිල්ලේ තර්කවල කිසිදු වැදගත්කමක් නැති බව පෙනී යන්නේ ඊශ්‍රායලය විසින් පලස්තීනය ආක්‍රමණය කරනු ලැබුවේ හමාස් සංවිධානය නිසා නොව කලින් සැලසුම්කළ වැඩපිළිවෙලකට අනුව බවට කරුණු හෙලිවීම නිසාය.


Facebook
Twitter
LinkedIn