ලබන සැප්තැම්බර් මස 02 දා සිට 07 වන දින දක්වා ප්‍රථම වරට මෙරටදී ජාත්‍යන්තර චිත්‍රපට උළෙලක් පැවැත්වීමට සූදානම් කර ඇති බව වාර්තා වේ. ජපානයේ ඔකිනාවා ජාත්‍යන්තර සිනමා උළෙලේද සහයෝගය ඇතිව සංවිධානය කෙරෙන මෙම චිත්‍රපට උළෙල ”ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂකවරුන්ගේ සංසදය” විසින් සංවිධානය කරනු ලැබේ.
මේ පිළිබද අදහස් දක්වන ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂකවරුන්ගේ සංසදය පවසන්නේ වාණිජමය වටිනාකමින් ඔබ්බට ගිය උසස් කලාත්මක අගයකින් යුතු සිනමාපට ලාංකීය සිනමාලෝලීන්ට නැරඹීමට අවස්ථාවක් උදාකරදීම හා දේශීය සිනමාකරුවන්හට ඔවුන්ගේ නිර්මාණ ජාත්‍යන්තරයට හදුන්වාදීමට අවස්ථාව උදාකරදීම මෙම චිත්‍රපට උළෙල පැවැත්වීමේ අරමුණ වන බවයි.
රටවල් 40 ක් නියෝජනය කරමින් ළමා චිත්‍රපට, ප්‍රත්‍යාවලෝකණ සිනමා නිර්මාණ, ජපන් සිනමා නිර්මාණ, කෙටි චිත්‍රපට සහ වාර්තා චිත්‍රපට ඇතුළු චිත්‍රපය 70ක් පමණ මෙම උළෙලේදී තිරගත කිරීමට සූදානම් වන බව පැවසේ. මෙම චිත්‍රපට කොළඹ අවට ප්‍රධාන සිනාම ශාලා කිහිපයක ප්‍රදර්ශනය කිරීමට සූදානම් වන අතර කොළඹ රීගල්, මැජෙක්සික් සිටි, ඉන්ඩිපෙන්ඩන්ට් ස්ක්වෙයාර් ආකේඩ් හා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී යන සිනමාහල්වල ප්‍රදර්ශනය කරනු ලබන බවත් පාසල් සිසුන්,දෙමාපියන්, ගුරුවරුන්, මෙරට සිනමා ලෝලීන් වෙනුවෙන් නොමිලේ ප්‍රදර්ශනය කරන බව සංවිධායක මණ්ඩලය පවසයි.









