රට තුළ මහත් ආන්දෝලනයකට හේතු වූ සීනි ආනයන බදු වංචාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු වන නුෂාඩ් පෙරේරා සතොස ආයතනයෙන් වහාම ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
මෙම මහා පරිමාණ වංචාව පිළිබඳව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී අනුර දිසානායක අයවැය විවාදයේදී මුළින්ම කරුණු හෙළි කළේය. ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ මාධ්ය හමුවකදී වැඩි දුරටත් කරුණු තහවුරු කිරීමෙන් පසුව නුෂාඩ් පෙරේරා ඉවත්කොට ඇත. මෙම හෙළිකිරීම නිසා රට තුළ බරපතල විරෝධයක් ජනාධිපතිවරයාට සමීප පාර්ෂවයන්ගෙන් පවා එල්ලවීම නිසා මෙම ඉවත් කිරීම සිදුකොට ඇත.
මාධ්ය හමුවේදී ජවිපෙ නායක අනුර දිසානායක මේ වංචාව පිළිබඳව කරුණු හෙළිකර තිබුණේ මෙසේය.
“ආණ්ඩුව තමන්ට හිතවාදී ව්යාපාරික චෞර වළල්ලකට අතිශය ධනස්කන්ධයක් උපයා ගැනීමට ඉඩ සලසමින් තිබෙනවා. මෙවැනි ගනුදෙනු ගණනාවක් පිළිබඳව අයවැය විවාදයේදී මා කරුණු ඉදිරිපත් කළා. පුවත්පත් ගණනාවක ඒ පිළිබඳව ලිපි පළවී තිබෙනවා. ජූනි 26වැනිදා සීනිවලට රු. 50ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවූවා. ඔක්තෝබර් 13වැනිදා මේ බද්ද ශත 25 දක්වා අඩු කළා. පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා මේ බද්ද අඩුකිරීමට අනුරූපීව සුදු සීනිවල උපරිම සිල්ලර මිල රු. 85ක් සහ ආනයනකරු විකිණිය යුතු උපරිම තොග මිල රු. 80ක් හැටියට සඳහන් කළා. ඒ වනවිට රු. 135ට, 140ට තිබුණු සීනි රු. 85 දක්වා අඩුවිය යුතුව තිබුණා. නමුත් දැන් සිදුවිය යුතුව තිබෙන්නේ ආණ්ඩුවට බද්දත් නැහැ, ජනතාවට අඩු මිලට සීනිත් නැහැ. මේ වසර අවසන් වනවිට ආසන්න වශයෙන් සීනි මෙ.ටොන් ලක්ෂයක්වත් ආනයනය කරනවා. දළ වශයෙන් ගත්තොත් රු. කෝටි 1000ක බදු ආදායමක් අහිමි වෙනවා.”









