විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගැටලු ආණ්ඩුවේ ගජමිතුරු ව්‍යාපරිකයින්ගේ මුදල් හම්බකරන ව්‍යාපාරයක් වෙලා..

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගැටලු ආණ්ඩුවේ ගජමිතුරු ව්‍යාපරිකයින්ගේ මුදල් හම්බකරන ව්‍යාපාරයක් වෙලා..

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගැටලු ආණ්ඩුවේ ගජමිතුරු ව්‍යාපරිකයින්ගේ මුදල් හම්බකරන ව්‍යාපාරයක් බවට පත්කර ඇතැයි එතෙර අපි සංවිධානයේ මුදල් ලේකම් නීතිඥ ජානක අධිකාරී මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූවේ අද (15) පෙරවරුවේ පැලවත්ත බත්තරමුල්ල හි පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතීඥ ජානක අධිකාරී මහතා…

ලංකාවේ ජනගහනයෙන් 08%-10% පමණ ප්‍රමාණයක් විදෙස්ගත ශ්‍රමිකයන්

“විදේශ ගත ශ්‍රී ලාංකිකයන් මෙම කොරෝනා තත්වය මත බරපතළ ගැටලුවලට මුහුණපා සිටිනවා. පසුගිය මාර්තු මාසයේ සිටම අපි මේ සම්බන්ධයෙන් ආන්ඩුවට කරුණු දැක්වූවා. ලංකාවේ ජනගහනයෙන් 08%-10% පමණ ප්‍රමාණයක් විදෙස්ගත ශ්‍රමිකයන් ලෙස ජීවත් වෙනවා. ඔවුන් තමන් උපයන විදෙස් මුදල් මෙරටට එවමින් මෙරට ආර්ථිකය පවත්වා ගෙන යාමට විශාල දායකත්වයක් ලබා දෙනවා. විශේෂයෙන් මෙම ශ්‍රමිකයින්ගෙන් වැඩිම ප්‍රමාණයක් සිටින්නේ මැදපෙරදිග කලාපයේයි.

ශ්‍රී ලාංකේය ශ්‍රමිකයන් ලැජ්ජාවට පත්වෙනවා

වෙනත් රටවල ශ්‍රමිකයන් සමග සසඳා බැලුවහොත් ශ්‍රී ලාංකේය ශ්‍රමිකයන් ලැජ්ජාවට පත් වන තරමට ඔවුන් පීඩාවට පත් වෙමින් සිටිනවා. මෙරට ආණ්ඩුව ඔවුන් ගැන බලන්නේ නැත්දැයි සෙසු රටවල ශ්‍රමිකයින් ශ්‍රී ලාංකියන්ගෙන් ප්‍රශ්න කරනවා. ඒ, මෙරට ආණ්ඩුව තමන්ගේ පුරවැසි ශ්‍රමිකයින්ගේ වගකීම පැහැර ඇති බව ඔවුන්ටද දැනෙන නිසයි.

අයිතීන් අහිමිවන විදෙස්ගත ශ්‍රමිකයින්

මේ වනවිට විදෙස්ගත ශ්‍රමිකයින් විශාල පිරිසක් මෙරටට පැමිණීමට නොහැකිව සිටිනවා. ඒ ඔවුනට මෙරටට පැමිණීමට අවසර ලබා නොදී ඇති තත්වයක් තුළයි. ආණ්ඩුවට ඔවුන් ගෙන්වා ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් නැහැ. මේ පිරිස අතර රැකියා ගිවිසුම් අවසන් වූ පිරිසක් සිටිනවා. මාර්තු සිට ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ තමන්ගේ රැකියා ගිවිසුම් අවසන් වූ ශ්‍රමිකයන් විශාල පිරිසක් සිටිනවා. සැබැවින්ම රැකියා ගිවිසුම අවසන් වූ පසුව ඔවුනට එම රටවල සිටීමට හැකියාවක් නැහැ. නීතිමය වශයෙන් අවසරයක් නැහැ. වීසා රහිතව මෙසේ රැඳී සිටින කාලය වෙනුවෙන් ඔවුනට දඩ ගෙවීමට සිදුවෙනවා. නිදසුනක් ලෙස කටාර් රාජ්‍යය ගතහොත් එවැනි අමතර කාලයක් ගත කළ ශ්‍රමිකයන් තමන්ගේ මව්රටට යන දිනයට අමතර දඩ මුලක් ගෙවීමට සිදු වනවා. මෙම අමතර කාලය තුළ ඔවුනට අනෙකුත් අයිතීන්ද අහිමි වනවා. නීති විරෝධීව රැඳී සිටින නිසා ඔවුනට නිදහසේ ප්‍රතිකාර ගැනීමට පවා නොහැකියි. ඔවුන්ට ජීවත් වීමට, ආහාර ගැනීමට ඉඳුම් හිටුම් ලබාගැනීමට මුදල් නොමැතිව අන්ත අසරණ වී සිටිනවා. මෙබඳු අයගේ වීඩියෝ පට, හඬපට, පුවත්පත් වාර්තා අපට විශාල ලෙස ලැබෙමින් තිබෙනවා. ආණ්ඩුව ඔවුන්ගේ ගැටලුවලට මැදිහත් නොවන බව කියමින් විශාල ලෙස දුක්ගැනවිලි ඉදිරිපත් වනවා.

මෙම තත්වයට මුහුණ දෙන ගෘහසේවිකාවන් විශාල පිරිසක්ද සිටිනවා. ඔවුන්ගේ රැකියා ගිවිසුම් අවසන් වූ පසුව පැමිණීමට නොහැකි නිසා ගිවිසුම් රහිතව නිවෙස් තුළ තබාගනිමින් වැඩ ගනිමින් තිබෙනවා. ගිවිසුම් කාලය අහිමි නිසා ඔවුනට සියලු අයිතිවාසිකම් අහිමියි. ඒ නිසා හාම්පුතුන්ගේ සියලු කොන්දේසිවලට යටත්ව වැඩකිරීමට ඔවුනට සිදුව තිබෙනවා. මේ තත්වය තුළ දැවැන්ත ශ්‍රම සූරාකෑමක් සිදුවෙමින් තිබෙනවා. වෙනත් රටවල ශ්‍රමිකයන් මෙන් නොව ශ්‍රී ලාංකේය ශ්‍රමිකයන්ට උද්‍යානවල, පාරවල්වල රැඳීසිටිමින් කාලය ගත කිරීමට සිදුව තිබෙනවා.

අසල්වැසි ඉන්දියාවත් තමන්ගේ ශ්‍රමිකයින්ට රටට ගෙන්වා ගත්තා

ලෝකය තුළත් ආසියාවේත් එවැනි තත්වයක් දක්නට නැහැ. අසල්වැසි ඉන්දියාවත් තමන්ගේ ශ්‍රමිකයින්ට රටට පැමිණීමට ඉඩ ලබාදී තිබෙනවා. නමුත් ලාංකේය ශ්‍රමිකයන් තමන්ගේ මව්රටට පැමිණීමට නොහැකිව අසරණ වී සිටිනවා. ආණ්ඩුව ඔවුන් ගෙන්වන බවට බොරු පොරොන්දු දෙමින්, ඔවුනට නිරෝධායන වීමට තැන් නැති බවට බොරු කියමින් කල් මරනවා. ඒ විතරක් නෙවෙයි දැන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීම ආණ්ඩුවේ ගජමිතුරන්ට මුදල් ගරන ව්‍යාපාරයක් වෙලා තිබෙනවා. ආණ්ඩුවේ ගජමිතුරු ව්‍යාපාරිකයින් මේක ජාවාරමක් බවට පත්කරගෙන තිබෙනවා. මේ ඉතාම අමානුෂික වැඩක්. අපි ආණ්ඩුවට කියනවා මේ තරම් අමානුෂික වෙන්න එපා කියලා. ඒ වගේම එතෙර අපි සංවිධානය ලෙස අපි ආණ්ඩුවට බලකර සිටින්නේ විදෙස්ගත ශ්‍රමිකයින් ගෙන්වීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසයි.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්