කොළඹ විශ්වවිද්‍යාලයට අයත් මුත්තයියා නේවාසිකාගාරය පිහිටි අක්කර දෙකක පමණ ඉඩම අත්‍යවශ්‍ය සංවර්ධන කටයුත්තක් සඳහා යැයි පවසමින් නාගරික සංවර්ථන අධිකාරියට පවරා ගැනීම පිළිබඳ දැඩි ලෙස විරෝධය දක්වන බව කොළඹ විශ්වවිද්‍යාල ශාස්ත්‍ර පීඨ ආචාර්ය සංගමය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකරමින් දන්වා ඇත.
ශාස්ත්‍ර පීඨ ආචාර්ය සංගමයේ සභාපති ත්‍යාගරාජා වරදාස් මහතාගේ හා එහි වැඩබලන ලේකම් හංස ජයරත්න මහතාගේ අත්සනින් යුතුව යොමු කර ඇති මෙම ලිපිය මාධ්‍ය වෙතද නිකුත් කර තිබේ.
ඉන් පෙන්වා දෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ කාන්තා සිසුන් 550ක පමණ ප්‍රමාණයක් මෙම මුත්තයියා නේවාසිකාගාරයේ නේවාසික පහසුකම් ලබන බවත් විශේෂයෙන් එහි වෙනස් හැකියා සහිත (differently able) සිසුවියන්ද විශාල ප්‍රමාණයක් නේවාසික පහසුතකම් ලබන බවත්ය.
විශේෂයෙන් බාධාවකින් තොරව සිය අධ්‍යාපන කටයුතු කරගෙන යාමට මුත්සිතයියා නේවාසිකාගාරය සිසුවියන්ට පහසු ස්ථානයක් බවත් ආචාර්ය සංගමය සිය ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
විශේෂයෙන් ශාස්ත්‍ර පීඨ අචාර්ය සංගමය මෙහිදී පෙන්වා දී තිබෙන්නේ ආචාර්යවරුන් සමග කිසිදු සාකච්ඡාවකින් හෝ තොරව මෙන්ම කිසිදු වෙනත් නේවාසිකාගාර පහසුකමක් සිසුන්ට සැපයීමට කටයුතු නොකර වහාම ක්‍රියාත්මක වන පරිදි නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම ඉඩම අත්පත් කර ගැනීමට කටයුතු කිරීම පිළිබඳ තම සංගමය පුදුමයට පත් වන බවය.
ශාස්ත්‍ර පීඨ ආචාර්ය සංගමය මෙහිදී නාගරික සංවර්ධන අධීකාරියේ ඉහත නියෝගය නැවත සලකා බලන ලෙසද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් දැඩි ලෙස ඉල්ලා සිටී.












