බ්‍රිතාන්‍ය ජාතිකයා ඝාතනය කිරීම පිළිබඳව අධිකරණ සාක්ෂි විමසීම 02

තංගල්ල ද නේචර් හෝටලයේ නත්තල් සාදය පැවැත්වෙන අතරතුර පිහිනුම් තටාකය අසලදී හයදෙනෙකුගේ පමණ කණ්ඩායමක් තමා වටකරගෙන විනාඩි 15ක් පමණ එක දිගට පහරදුන් බව රුසියානු ජාතික සුරූපී තරුණියක වන විකෝටෝරියා ඇලෙක්සැන්ඩ්‍රා මෙනෙවිය කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (27) පැවැසුවාය.

තංගල්ල හෝටලයක් තුළදී 2011 දෙසැම්බර් 25 වැනිදා බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතනය කර ඔහුගේ පෙම්වතිය වූ වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රා මෙනෙවිය සමූහ දූෂණයට ලක්කිරීම සම්බන්ධයෙන් තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා තිබෙන නඩුවේ විත්තියේ නීතීඥවරුන් ඇසූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රා මෙනෙවිය එසේ පැවැසුවාය.

මෙම නඩුව කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය ඉදිරියේ විභාග වේ.

මෙම නඩුවේ පළමු විත්තිකරු වන ළහිරු කැලුම් නමැත්තා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ මහතා ඇසූ හරස් ප්‍රශ්නවලට වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රා මෙනවිය පිළිතුරු දුන්නාය. වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රා මෙනෙවිය රුසියානු   භාෂාවෙන් ලබාදුන් සාක්ෂිය සිංහල විශ්වකෝෂයේ සහකාර කර්තෘ රංගන දේවමිත්ත මහතා විසින් සිංහලයට පරිවර්තනය කරනු ලැබීය.

ජනාධිපති නීතීඥ: මේ සිද්ධිය වුණේ 2011 දෙසැම්බර් 24 සහ 25 යන දිනවලදී නේ ද?

සාක්ෂිකාරිය : ඔව්.

ජනාධිපති නීතීඥ: මෙම සිද්ධියෙන් පස්සේ ලංකාවේ දින කීයක් හිටියා ද?

සාක්ෂිකාරිය : දෙසැම්බර් මස 28 ‍වැනිදා සිට ජනවාරි 6 වැනි දින තෙක් ලංකා රෝහලේ හිටියා.

ජනාධිපති නීතීඥ: එම රෝහලේ ඉන්න විට තානාපති කාර්යාලවලින් ඔබ බැලීමට ආවා ද?

සාක්ෂිකාරිය : කොන්සාල් ජනරාල්වරයෙකු මා මුණගැසීමට ආවා.

ජනාධිපති නීතීඥ: කුමක් හෝ ප්‍රශ්නයක් තිබුණහොත් ඔවුන්ට දැනුම් දෙන්න කියා උපදෙස් දුන්න ද?

ජනාධිපති නීතීඥ: රහස් පොලිස් නිලධාරීන් ඔබට ආරක්ෂාව සැපයුවා ද?

සාක්ෂිකාරිය : නිසි පරිදි එම අවස්ථාවේදී ආරක්ෂාවක් සැපයුවා කියා මට විශ්වාස කරන්න බෑ.

ජනාධිපති නීතීඥ: මේ අවස්ථාවේදී ඔබට මෙරට පොලිසිය ආරක්ෂාව ලබා දුන්නා ද?

සාක්ෂිකාරිය : ඔව්.

ජනාධිපති නීතීඥ: ඔබ 2012 ජනවාරි 5 වැනිදා මරණ පරීක්ෂණයකට තංගල්ල අධිකරණයකට සාක්ෂි ලබාදීමට ගියා ද?

සාක්ෂිකාරිය : ඔව්.

ජනාධිපති නීතීඥ: ඒ අවස්ථාවේදී ලංකාවේ අධිකරණ කොමිෂන් සභාවේ ඉංග්‍රීසි – සිංහල පරිවර්තකයෙක් ඉඳලා ඔබට පරිවර්තනය කරලා දුන්නා ද?

සාක්ෂි කාරිය : ඔහු පරිවර්තනය කළේ මා ඔහුට කී දේ පමණයි. නමුත් මට එහි දේවල් පැහැදිලි කර දුන්නේ නෑ. මේ අවස්ථාවේදී මෙම නඩුවේ මුල් නඩු කොපිය සාක්ෂිකාරිය වෙත පෙන්වා සිටින ලදී.

ජනාධිපති නීතීඥ: එසේම හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහාත් ඔබ රැගෙන ගියේ පොලිසිය මගින් නේ ද?

සාක්ෂි කාරිය : ඔව්.

හඳුනාගැනීමේ පෙරට්ටුවකට 2012 ජනවාරි 5 වැනිදා ඔබ සහභාගි වුණා ද?

සාක්ෂි කාරිය : ඔව්.

සාක්ෂි කාරිය : ඔව්.

ජනාධිපති නීතීඥ: එම පෙරෙට්ටුවේදී “මට බයක් තියෙනවා මේ පුද්ගලයෝ පෙන්වන්න” කියා නිකමටවත් මහේස්ත්‍රාත්වරයාට කීවේ නැහැ නේද?

සාක්ෂි කාරිය : මා මහෙස්ත්‍රාත්වරයාට එසේ කියා සිටියේ නැහැ.

ජනාධිපති නීතීඥ: ඔබ හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේදී කිසිවෙකු හඳුනාගත් බවට ප්‍රකාශ කළේ නැහැ නේ ද?

සාක්ෂි කාරිය :  ඔව්.

ජනාධිපති නීතීඥ:  මෙම සිද්ධිය වුණු දිනය ගැනයි මා දැන් ප්‍රශ්න කරන්නේ. එදා සවස 7-8 විතර නත්තල් සාදයට සහභාගි වී ඔබ පෙම්වතා සමඟ මත්පැන් පානය කළ බව.

සාක්ෂි කාරිය :  එහෙමයි.

ජනාධිපති නීතීඥ:  ඔබ, කුරාම්, බාර් මෘන්ටත් උපදෙස් දෙමින් බාර් එක අසල සිටි බව කීවා නේ ද?

සාක්ෂි කාරිය : මත්පැන්හල අසල කෑම ගැනීමට පනවා තිබූ මේසයක තමයි අපි හිටියේ.

ජනාධිපති නීතීඥ:  බාර් එකක් නඩත්තු කරන ආකාරය ගැන කුරාම්, බාර්මෑන්ට උපදෙස් දුන් බව ඔබ කීවා නේ ද?

සාක්ෂි කාරිය : ඔව්.

ජනාධිපති නීතීඥ:  එහිදී ඔබත් සමඟ කුරාම් කේන්තියෙන් හිටියා නේද?

සාක්ෂි කාරිය : ඇත්ත වශයෙන්ම. මම ඔහුගේ පෙම්වතිය. මා ඔහුට දැනුම් නොදී වෙනත් තැනකට ගිය නිසයි ඔහු කේන්තියෙන් සිටියේ.

ජනාධිපති නීතීඥ:  කුරාම්ගේ දොස් කීම උඩ ඔබ විනාඩි 10ක් 15ක් ඇඬුවා නේ ද?

සාක්ෂි කාරිය : ඔව්.

ජනාධිපති නීතීඥ:  ඔබ වැල්ලේ ඉන්න විට යම් පුද්ගලයෙකු ඇවිත් ඔබගෙන් යම් යම් ප්‍රශ්න අහන්න ගත්තා කියලා.

සාක්ෂි කාරිය : එහෙමයි.

ජනාධිපති නීතීඥ:  හැබැයි එවැනි දෙයක් තමාගේ පොලිස් කට උත්තරයේ සඳහන් කර නැහැ නේ ද?

සාක්ෂි කාරිය : මම හිටියේ හිසේ සංකීර්ණ ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් අනතුරුවයි. මා හිටිය තත්ත්වය අනුව සියලු දේ කීම ඉතාමත් අසීරු කටයුත්තක්.

ජනාධිපති නීතීඥ:  එහෙම දෙයක් නොකී බවට ඔබ පිළිගන්නවා ද?

සාක්ෂි කාරිය : මට එම කාරණය මඟ ඇරෙන්න ඇති.

ජනාධිපති නීතීඥ:  ඔබ පිහිනුම් තටාකය අසලදී ප්‍රහාරයකට ලක් වූ බව කීවා නේ ද?

සාක්ෂි කාරිය :  ඔව්.

එහිදී ඔබ අත් දෙකින් මුහුණ වසා ගත්තා නේ ද?

සාක්ෂි කාරිය :  ඔව්.

එහෙම වහ ගත්තාම කවුද පහර දෙන්නේ කියා ඔබට පෙන්නේ නැහැ නේ ද?

සාක්ෂි කාරිය :  ඔව්.

එලෙස කොපමණ වේලාවක් පහර දුන්නා ද?

සාක්ෂි කාරිය :  එලෙස කොපමණ කාලයක් පහර දුන්නාද කියා හිතන්න අපහසුයි. කල්පනා කර බලන්න ඔබට කවුරුහරි පහර දෙනවානම් කාලය මනින්න පුළුවන්ද?

ආසන්න වශයෙන් කොපමණ වේලාවක් ද?

සාක්ෂි කාරිය :  විනාඩි 10ක් 15ක් පමණ

ඔබ බිම වැටුණු විට ඔබට පයිනුත් ගැහුවා ද?

සාක්ෂි කාරිය :  ඔව්.

තමා ලබාදුන් පොලිස් කට උත්තරයේ තමා බිම වැටුණු බවවත්, තමාට පයින් ගැසූ බවවත් සඳහන් කර නැහැ කියා මා යෝජනා කරනවා.

සාක්ෂි කාරිය :  මා විසින් කරන ලද ප්‍රකාශය මාගේ ඇස්වලින් බලන්න හැකියාවක් ලැබුණේ නැහැ. එම නිසා සමහරවිට මගේ අතින් ඒ බව ප්‍රකාශ කළ නොහැකියි. සමහරවිට මගේ අතින් ඒ බව ප්‍රකාශ කිරීම මඟ හැරෙන්න ඇති.

ජනාධිපති නීතීඥ:  ඔබව පිහිනුම් තටාකයට වැටීමෙන් අනතුරුව එක්තරා පුද්ගලයෙකු ගොඩට ඒමට නොදී පයින් ගැසුවා කියා කීවා නේ ද?

සාක්ෂි කාරිය :  ඔව්.

ජනාධිපති නීතීඥ:  එම කාරණය ඉතා වැදගත් කාරණයක් ලෙස ඔබට තේරෙන්නේ නැද්ද?

සාක්ෂි කාරිය :  වැදගත් කාරණය කියන එක මට තේරෙන්නේ නැහැ.

ජනාධිපති නීතීඥ:  පිහිනුම් තටාකයෙන් ගොඩ ඒමට උත්සාහ කිරීමේදී පුද්ග‍ලයෙකු එය වලක්වා තමාට පහරදුන් බව  තමා පොලිසිය වෙත ලබාදුන් කට උත්තරයේ එක් වචනයක් වත් සඳහන් කර නැහැ නේ ද?

සාක්ෂි කාරිය :  ඒ බව මා පොලිසිය වෙත ලබාදුන් කට උත්තරයේ සඳහන් කළා.

ජනාධිපති නීතීඥ:  ඒ බව සම්පූර්ණ ඌණතාවයක් විදිහට ලකුණු කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ පුද්ගලයාගේ හැඩරුව ඔබට මතක බව කීවා නේ ද?

සාක්ෂි කාරිය :  ඔව්.

ජනාධිපති නීතීඥ:  ඔබ වතුරේ සිටියා නම් ඔබට පහර දුන් පුද්ගලයා හිටියේ ගොඩ නම්, ඔහු හිටියේ ඔබට වඩා උඩින් නේ ද?

සාක්ෂි කාරිය :  ඔව්.

ජනාධිපති නීතීඥ:  එලෙස එම පුද්ගලයා පහර දෙන විටත් ඔබ ඔළුව වහ ගත්තා ද?

සාක්ෂි කාරිය :  ඒ අවස්ථාවේදී මාගේ දෑතින් පිහිනුම් තටාකයේ තරප්පු පෙළේ වැට අල්ලාගෙනයි හිටියේ

ජනාධිපති නීතීඥ:    එම පුද්ගලයා පිහිනුම් තටාකයෙන් ගොඩ ඒ මට දැරීමේදී පහරදුන් බවට පොලිස් කට උත්තරයේ එක් වචනයක්වත් සඳහන් කර නැහැ නේද?

සාක්ෂි කාරිය :  ඒ බව මාගේ ප්‍රකාශයේ සටහන්ව තිබිය යුතුයි.

ජනාධිපති නීතීඥ:   එවැනි කළු පැහැති පුද්ගලයෙකු තමාට පිහිනුම් තටාකයෙන් ගොඩ ඒමට උත්සාහ කිරීමේදී බාධාකරමින් පහරදුන් බවට පොලිස් කට උත්තරයේ සඳන් කර නොමැති බවට මා යෝජනා කරනවා.

සාක්ෂි කාරිය :  ඒ අවස්ථාවේදී මා පත්ව සිටි තත්වය ගැන අධිකරණයේ අවධාන‍ය යොමු කරනවා. මේ රටේ මා සිටියේ තනිවමයි. කට උත්තරය ලබා දීම ගැන මට කිසිවෙකු උපදෙස් දුන්නේ නැහැ. මා එම අවස්ථාවේදී පත්ව සිටි තත්ත්වය සැලකිල්ලට ගන්නා ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. මාගේ අතින් සමහර දේවල් මග හැරී යන්න ඇති. ඒ පුද්ගලයා ලාංකිකයෙක්, කළු පුද්ගලයෙක්, ඔහුගේ හැඩරුව ගැන පොලිසියට ප්‍රකාශ කළා.

ජනාධිපති නීතීඥ:    2012 ජනවාරි 05 දා මරණ පරීක්ෂණයට සාක්ෂි දීමට තංගල්ල මහෙස්ත්‍රාත්වරයා වෙත ගියා ද?

සාක්ෂි කාරිය :  ඔව්.

ජනාධිපති නීතීඥ:   ඒ වෙලාවේ ඔබට  තේරෙන්න ඇති ඔබ ඉන්නේ අධිකරණයේ ආරක්ෂාව යටතේ බව.

සාක්ෂි කාරිය :  මගේ ආරක්ෂාව සහතික කර තිබෙන බව මට විශ්වාසයක් තිබුණේ නැහැ.

ජනාධිපති නීතීඥ:   මේ මිනිහා කළු මිනිහෙක් බව මරණ පරීක්ෂණයේ දී මහේස්ත්‍රාත්වරයා වෙත එක වචනයක් වත් නොකියූ බවට මා යෝජනා කරනවා.

සාක්ෂි කාරිය :  සෑම මුහුණකම තමන්ට අනන්‍යතාව ස්වරෑපයක් තිබෙනවා. එම නිසා එම කළු පැහැති ස්වරූපය තදින් මගේ මතකයේ රැඳුනා. මට අවශ්‍ය වූයේ ලංකාවේ රැඳී සිටීමට නොව ඉක්මනින් රුසියාවට යාමටයි.

ජනාධිපති නීතීඥ:   කළු පුද්ගලයා අවුරුදු 24ක පමණ පුද්ගලයෙකු බව කීවා නේද,

සාක්ෂි කාරිය :  මගේ මතකයේ හැටියටයි කීවේ.

ජනාධිපති නීතීඥ:   ඔහුගේ වයස අවුරුදු 18යි බව ඔබ දන්නේ නැද්ද?

සාක්ෂි කාරිය :  නැහැ. මට ඔහු වයස අවුරුදු 24ක් වගෙයි පෙණුනෙ.

ජනාධිපති නීතීඥ:   එම පුද්ගලයා නිල්පාට ටී-ෂර්ට් එකක් ඇඳ සිටි බව කීවා‍ නේ ද?

සාක්ෂි කාරිය :  ඔහු ලා නිල් පැහැති ටී-ෂර්ට් එකක් ඇඳ සිටියා.

ජනාධිපති නීතීඥ:   ටී-ෂර්ට් එකයි, ෂර්ට් එකයි  ඔබ හඳුනනවා  ද?

සාක්ෂි කාරිය :  ඔව්.

ජනාධිපති නීතීඥ:   මරණ පරීක්ෂණයේදී ඔබ සාක්ෂි දෙමින් කීවාද මට පහර දුන් පුද්ගලයා නිල් පැහැති ෂර්ට් එකක් හැඳ සිටි බව.

සාක්ෂි කාරිය :  මාගේ ඉංග්‍රීසි භා‍ෂා දැනුම ඉතා විශිෂ්ට මට්ටමක නොමැති බව ප්‍රකාශ කළ හැකියි. මගේ ප්‍රකාශ පරිවර්තනය කළ පරිවර්ථකගේ ඉංග්‍රීසි දැනුම කොයි මට්ටමක තිබෙනවාද කියා මා දන්නේ නැහැ.

ජනාධිපති නීතීඥ:    කළු පැහැති පුද්ගලයා නිල් පැහැති ෂර්ට් එකක් හැඳ සිටි බව මරණ පරීක්ෂණයේදී කිව්වා ද? නැත් ද?

සාක්ෂි කාරිය :  මට හොඳට මතකයි. ටී-ෂර්ටි ඇඳ සිටි බවයි. නමුත් මා ටී-ෂර්ට්  එක, ෂර්ට් එක ලෙස සඳහන් කර තිබෙනවා නම් ඒක මගේ වැරැද්දක් ද? භාෂා පරිවර්තකගේ වරදක්ද කියා මට හරියටම කියන්න බැහැ.

ජනාධිපති නීතීඥ:    මරණ පරීක්ෂණයේදී අදාළ පුද්ගලයාගේ හැඩරුව ගැන කිසිම දෙයක් සඳහන් කළේ නැහැ නේ ද?

සාක්ෂි කාරිය :  මම ඔහුගේ ස්වරෑපය විස්තර කථනය කළා.

ජනාධිපති නීතීඥ:    එලෙස ඇඳගෙන සිටි ටී-ෂර්ටි එක අත් දිග ටී-ෂර්ට් එකක් ද? අත් කොට එකක් ද?

සාක්ෂි කාරිය :  එය අත්කොට ටී-ෂර්ට් එකක්. එය සාමාන්‍ය ටී-ෂර්ට් එකක්.

ජනාධිපති නීතීඥ:    තමාගේ කට උත්තරයේ කීවාද එම පුද්ගලයා අත් නැති ස්කිනි එකක් හැඳ සිටියා කියා.

සාක්ෂි කාරිය :  මට පැහැදිලිව කිය හැකියි. එම පුද්ගලයා කෙට්ටු අයෙක්. ඔහු ඇඳ සිටියේ නිල් පැහැති ටී-ෂර්ට් එකක්. ඔහු අඳුරු පැහැ දිග කලිසමක් ඇඳ සිටියා. ඔහු කෙසඟ පුද්ගලයෙක්.

ජනාධිපති නීතීඥ:    ස්කිනි කියන්නේ අත් නැති ඇඳුමක් නේද?

සාක්ෂි කාරිය :  මාගේ තරුණ පෙම්වතා ඉංග්‍රීසි ජාතිකයෙක්. එංගලන්තයේ ඉංග්‍රීසි භාෂාවෙන් ස්කිනි යනුවෙන් හඳුන්වන්නේ කෙට්ටු මිනිස්සු යනුවෙනුයි.

ජනාධිපති නීතීඥ:    දැන් තමයි සාක්ෂිකාරියට ඉංග්‍රීසි භාෂාව තේරෙන්නේ. මෙච්චර වෙලා තේරුණේ නැහැ. මා අහන්නේ ස්කිනී කියන ඇඳුම ගැනයි.

සාක්ෂි කාරිය :  මා ඒ ගැන දන්නේ නැහැ.

ජනාධිපති නීතීඥ:    ස්කිනී ඇඳගත් පුද්ගලයෙකු  ගැන කටඋත්තරයේදී කිව්වා ද? නැත් ද?

සාක්ෂි කාරිය :  නැහැ. මා එලෙස කිවේ නැහැ.

ජනාධිපති නීතීඥ:    ඔබගේ ඇඟට පුද්ගලයෝ තිදෙනෙක් පැන්නා නේ ද?

සාක්ෂි කාරිය :  මට මතක හැටියට මාගේ ප්‍රකාශයේ සඳහන් කර සිටියේ එතැන තුන්දෙනෙකුට වඩා සිටි බවටයි.

ජනාධිපති නීතීඥ:    ” ඔවුන්ගේ මුහුණු හඳුනාගත නොහැක” කියා ඔබ එහිදී සඳහන් කළා ද?

සාක්ෂි කාරිය :  එහෙමයි. මට හඳුනාගන්න පුළුවන්කම තිබුණා. නමුත් මා පොලිසියට ඔවුන් හඳුනාගත නොහැකි බව කීවා.

ජනාධිපති නීතීඥ:    ඔබ පොලිසියට ඔවුන් හඳුනාගැනීමට නොහැකි බව කීවේ ඇත්තක් ද? බොරුවක් ද?

සාක්ෂි කාරිය :  ඒක අසත්‍යයක්. මම එක සැකකරුවෙකු හඳුනාගත්තා.

ජනාධිපති නීතීඥ:    මහේස්ත්‍රාත්වරයා ඉදිරියට ගොස් මරණ පරීක්ෂණය පැවැත්වෙන විටත් එම කෙට්ටු පුද්ගලයා ගැන කීවේ නැහැ නේ ද?

සාක්ෂි කාරිය :  එම පුද්ගලයා ගැන මහේස්ත්‍රාත්වරයා වෙත විස්තර කථනය කළා. ඒ බව මට හොඳටම මතකයි.

ජනාධිපති නීතීඥ:    එලෙස ඔබට පහරදුන් පුද්ගලයා සෙරෙප්පු (සැඬල්ස්) 2ක් පැළඳ සිටි බව.

සාක්ෂි කාරිය :  ඔව්.

ජනාධිපති නීතීඥ:    මරණ පරීක්ෂණයේදී හෝ පොලිස් කටඋත්තරයේ ඒ බව සඳහන් කර නැහැ නේද?

සාක්ෂි කාරිය :  ඒ අවස්ථාවේදී යම් යම් සුළු කාරණා අමතක වෙන්න ඇති . මා ඒ වේලාවේදී පත්ව සිටි තත්ත්වය තේරුම් ගන්නා ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. මට ඇතිවී තිබූ කම්පිත තත්ත්වය මත ඇතැම් දේවල් කීමට නොහැකි වෙන්න ඇති.

ජනාධිපති නීතීඥ:    එම පුද්ගලයා කාන්තාවක් සමග නටමින් ඉතා අශෝභන ලෙස හැසිරෙනවා දුටුවා කියා කීවා නේ ද?

සාක්ෂි කාරිය :  එම කාරණය මාතර රෝහලේදී කීවා. කරාපිටිය රෝහලේදීත් කීවා. නමුත් එය මම කාටද කීවේ කියා මා දන්නේ නෑ.

ජනාධිපති නීතීඥ:    මා අහන්නේ රෝහලේදී කියූ දෙයක් නොවේ. තංගල්ල මහෙස්ත්‍රාත්වරයාට හෝ පොලිසියට ලබාදුන් කටඋත්තරයේ ඒ බව සඳහන් කර නැහැ නේ ද?

සාක්ෂි කාරිය :  මට ඒ ගැන මතකය අවදි කරගන්න ඉතාම අපහසුයි. මාතර සහ කරාපිටිය රෝහල්වල ඉන්න විට පොලිසිය මගේ කටඋත්තර ලබාගත්තා. මම මෙම අධිකරණය තුළ දිවුරුම් පිට සාක්ෂි දෙන්නේ. මම අද මෙම අධිකරණයට ඇවිත් තිබෙන්නේ සත්‍යවාදී කරුණු කීමටයි.

ජනාධිපති නීතීඥ:    පළමු විත්තිකරු තමාට පහරදුන් බවට කියන කරුණු සම්පූර්ණයෙන් අසත්‍ය බවට මා යෝජනා කරනවා.

සාක්ෂි කාරිය :  නැහැ. මා කියන්නේ පිරිසිදු සත්‍යයක්. නඩුවේ පළමු වැනි විත්තිකරු වෙනුවෙන් සාක්ෂිකාරියගෙන් හරස් ප්‍රශ්න ඇසීම එතැනින් අවසන් විය.

ජනාධිපති නීතීඥ:    තුන්වැනි විත්තිකාර තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ඇසූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය මෙසේ ද පැවැසුවා ය.

ජනාධිපති නීතීඥ:    ඊයේත්, අද දිනයේත් තමා මේ අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ මෙම සිද්ධියට අදාළ දන්නා සත්‍ය කරණු නේද?

සාක්ෂි කාරිය :  ඔව්.

ජනාධිපති නීතීඥ:    මෙවර ඔබට නවාතැන් පහසුකම් වෙන් කළේ කවුද?

සාක්ෂි කාරිය :  රහස් පොලිසිය. මට ගුවන් ප්‍රවේශපත් ලැබුණේ ඔවුන්ගේ මාර්ගයෙන්. ඊමේල් මාර්ගයෙන් අදාළ හෝටලය වෙන්කර ගැනීම පිළිබඳවත්, ගුවන් ගමන් පිළිබඳවත් තොරතුරු ලැබුණා.

ජනාධිපති නීතීඥ:    කුරාම් ඔබේ පෙව්වතා ලෙස ද හඳන්වන්නේ.

සාක්ෂි කාරිය :  ඔව්.

ජනාධිපති නීතීඥ:    2011 දෙසැම්බර් 24 වැනිදා රාත්‍රියේ සිදුවූ සිද්ධියක් ගැන ඔබ සාක්ෂි ලබාදුන්නා නේද?

සාක්ෂි කාරිය :  එහෙමයි.

ජනාධිපති නීතීඥ:    දළ වශයෙන් තමා සහ තමාගේ පෙම්වතා නත්තල් සාදය පැවැත්වෙන ස්ථානයට පැමිණියේ.

සාක්ෂි කාරිය :  පස්වරු 7 පසුවී අපි පැමිණියා.

ජනාධිපති නීතීඥ:    නත්තල් සාදය පැවැත්වෙන ස්ථානයට පැමිණි තමා සහ පෙම්වතා අසුන් ගත්තේ කොහේ ද?

සාක්ෂි කාරිය :  බීමහලට ආසන්නයේ තිබෙන අසුනක තමයි අපි අසුන් ගත්තේ. අවශ්‍ය නම් මට එය ඇඳ පෙන්වීමට හැකියි. මේ අවස්ථාවේදී සාක්ෂිකාරිය තමා සහ තම පෙම්වතා අසුන් ගත් ස්ථානය සාක්ෂි කූඩුවේ සිට චිත්‍රයට ඇඳ පෙන්වයි.

ජනාධිපති නීතීඥ:    තමා අසුන්ගත් ස්ථානය, ඡායාරූපවලින් පෙන්නුවොත් හඳුනාගත හැකි ද?

සාක්ෂි කාරිය :  පුළුවන්.

ජනාධිපති නීතීඥ:    මේ අවස්ථාවේදී විත්තියේ නීතීඥ ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාවිසින් සාක්ෂිකාරියට පෙන්වයි. එම ඡායාරූපය මෑතකදී ගනු ලැබූ ඡායාරූපයක් බව ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා දන්වා සිටියේය.

දැන් තිබෙන තත්ත්වය ඉස්සර තිබුණු තත්වයට වඩා වෙනස් බව සාක්ෂිකාරිය හෝටලයේ ඡායාරූප බැලීමෙන් අනතුරුව ප්‍රකාශ කළාය.

ජනාධිපති නීතීඥ:    එම ඡායාරූපවල තිබෙන හෝටලය ඔබ 2011 දෙසැම්බර් තංගල්ලේ නැවතී සිටි හේටලයේ ඡායාරූප ද?

මේ අවස්ථාවේදී සාක්ෂිකාරිය එම ඡායාරූප සියල්ල හොඳින් පරීක්ෂා කර බලයි.

සාක්ෂි කාරිය :  මේ ඡායාරූප ගොඩක් මට හඳුනා ගන් පුළුවන්. වහලය, සිවිලිම හඳුනාගන්න පුළුවන්. හෝටලේ පිළිගැනීමේ නිලධාරිනිය සිටි තැනින් ඉදිරියට ගමන් කළොත් කුඩා දිය පාරක් වැනි දෙයක් තිබෙනවා. ආපනශාලාව තිබෙනවා. වහලය වෙනස් කර නොතිබු‍ණත් හෝටලයේ අනෙකුත් දේවල් වෙනස් කර තිබෙනවා. පුටු, මේස වෙනස් කර තිබෙනවා. සමහර ඡායාරූප මට හඳුනාගන්න බෑ. සමහරවිට එම ඡායාරූප අරන් තියෙන කෝණ නිසා වෙන්න ඇති.

ජනාධිපති නීතීඥ:    ඔබට පහරදුන් බව කියන ස්ථානයේ, එනම් පිහිනුම් තටාකය ආසන්නයේ ඡායාරූප ඔබ විසින් හඳුනා ගන්නවා ද?

සාක්ෂි කාරිය :  ඔව්.

ජනාධිපති නීතීඥ:    තමන්ගේ ජීවිතේ පළමු වතාවට නේද 2011 දෙසැම්බර් 24 වැනිදා වැනි සිද්ධියක් වුණේ.

සාක්ෂි කාරිය :  ඔව්.

ජනාධිපති නීතීඥ:    කවදාවත් සිද්ධිය අමතක වෙන්නේ නැහැ නේද?

සාක්ෂි කාරිය :  ඔව්.

ජනාධිපති නීතීඥ:    මේ සිද්ධියේ සමහර දේවල් තමන්ට අමතක වුණාට එහි වැදගත්ම දේවල් තමන්ට හොඳින් මතකයි නේද?

සාක්ෂි කාරිය :  ඔව්.

ජනාධිපති නීතීඥ:    පළමු වතාව, කුරාම්, බාර්මන් සමග කතා බව කරද්දී තමා වෙරළ පැත්තට ගියා නේ ද?

සාක්ෂි කාරිය :  ඔව්.

ජනාධිපති නීතීඥ:    ඔබ මත්පැන් පානය කරන්න ගත්තේ 8ට 8.30ට පමණ ද?

සාක්ෂි කාරිය :  අපි මත්පැන් පානය කරන්න ගත්තේ 9ට පමණ වෙන්නැති.

ජනාධිපති නීතීඥ:    යම් පුද්ගලයෙකුගේ හැසිරීම් රටාව මත්පැන් පානය කිරීමෙන් වෙනස් විය හැකිද?

සාක්ෂි කාරිය :  මා හෝ කුරාම් හෝ මත්පැන්වලින් මත් කිරිමට තරම් මත්පැන් ප්‍රමාණයක් අපි පානය කළේ නැහැ.

ජනාධිපති නීතීඥ:    2011 දෙසැම්බර් 24 වැනිදා රාත්‍රියේදී ඔබට කිසිම අවස්ථාවක රයන් අකලංක කියන පුද්ගලයා හමුවුණා ද?

සාක්ෂි කාරිය :  මට මතක නැහැ.

ජනාධිපති නීතීඥ:    පළමු වතාවේ කුරාම් සමග අමනාප වී මුහුදු වෙරළට යන විට හෝටලයේ කිසිම කලබලයක් තිබුණේ නැහැ නේ ද?

සාක්ෂි කාරිය :  ඔව්.

ජනාධිපති නීතීඥ:    මේ විත්තිකරුවන්ගෙන් කිසිවකු ඔබ ඒ වන විට දැක තිබුණේ නැහැ නේ ද?

සාක්ෂි කාරිය :  නැහැ. මම කිසිවෙකු ගැන අවධානය යොමු කළේ නැහැ. මම පෙම්වතාත් සමග හිටියේ.

ජනාධිපති නීතීඥ:    තමන්ගේ සාක්ෂිය අනුව ඔබ වෙරළේ විනාඩි 15ක් පමණ රැඳී සිටියා නේ ද?

සාක්ෂිකාරිය : ඔව්.

ජනාධිපති නීතීඥ:    තමන් එන විට තමාත් එක්ක පෙම්වතා තරහින් නේද හිටියේ ?

සාක්ෂිකාරිය : ඔව්.

ජනාධිපති නීතීඥ:    ඒ නිසා තමන්ට දුක හිතී ඇඬුවා නේ ද?

සාක්ෂිකාරිය : ඔව්. ඔහු මගෙන් විමසා සිටියා ඔහුව අතහැර ගියේ ඇයි කියලා. ඔහුත් සමග කතාබහ කර සමාව ගන්න අවශ්‍ය වී තිබුණාත් ඔහු මා සමග කතා කළේ නැහැ. ඒ අනුව නැවත මා වෙරළ දෙසට ගියා.

ජනාධිපති නීතීඥ:    කුරාම් තරහ ගියහම සමනය කිරීමට අපහසු කෙනෙක් ද?

සාක්ෂිකාරිය : ඔහු සමනය කරන්න අපහසු නැහැ. ඔහු සමග කතාබහ කිරීමෙන් සමථයකට ගෙන ඒමට පුළුවන්. වෙනත් පිරිමි මා ගැන උනන්දු වෙනකොටවත් කුරාම් ගැන වෙනත් කාන්තාවක් උනන්දු වන විටවත් අපි කෙරෙහි ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. අපි ඒක කතා කරලා හැමවිටම විසඳා ගන්නවා.

ජනාධිපති නීතීඥ:    තමා කුරාම්ව ජීවතුන් අතර සිටියදී ආබාධයකින් තොරව සිටි අවසන් අවස්ථාව කුමක් ද?

මෙහදී සාක්ෂි කූඩුවේ සිටි සාක්ෂිකාරිය කඳුළු සලන්නට වූවාය. ඒ අනුව ඇය වතුර බෝතලයක් ඉල්ලා සිටි අතර ඇය වතුර පානය කර ලේන්සුවෙන් හැඬු කඳුළු පිසදා ගැනීමෙන් අනතුරුව නැවතත් සාක්ෂි දීමට පටන් ගත්තාය.

සාක්ෂිකාරිය : මම ඉතා දුකින් සිටියා. මම තදින් ඇඬුවා

ජනාධිපති නීතීඥ:    ඔබ වෙරළේ සිටි තැනට නවාතැන් ගෙන සිටි හෝටලය පේනවා ද?

සාක්ෂිකාරිය : හෝටලයේ ඉදිරිපිටින් ඇති ගේට්ටුවෙන් එළියට ගොස් වෙරළේ මුහුදු රළ වැදෙන සමීපයේ වාඩිවුණා

ජනාධිපති නීතීඥ:    එහෙම වාඩිවී සිටින විට නේද පුද්ගලයෙකු ඔබ සිටි ස්ථායෙට ආවේ.

සාක්ෂිකාරිය : මා වෙරළේ ඉන්න විට දැක්කා ඔහු හෝටලයේ සිට වෙරළ පැත්තට එනවා. ඔහු මගෙන් විමසුවා  ” මොකක්ද ප්‍රශනේ ඇයි අඬන්නේ” කියා ඇහුවා. “ඒක මගේ වැඩක්” කියලා මම පැවසුවා. මට එහිදී ඇතිවූ බිය නිසා නැවත හෝටලය දෙසට මා ගියා.

ජනාධිපති නීතීඥ:    තමා වෙරළේ සිට එම පුද්ගලයාට බය වී හෝටලයට දිව යන විට හෝටලය තුළ කිසිදු කලබලයක් තිබුණේ නැහැ.

සාක්ෂිකාරිය : මට මතක නැහැ. එවැනි සිද්ධියක්.

ජනාධිපති නීතීඥ:    තමා දන්නවා කුරාම් දැන් ජීවතුන් අතර නැහැ.

සාක්ෂිකාරිය : ඔව්.

ජනාධිපති නීතීඥ:    කුරාම්ට කවුරු පහර දුන්නාද කියා කියන්න බැහැ.

සාක්ෂිකාරිය : කුරාම්ට පහර දුන්නේ කවුද කියා මා දැක්කේම නැහැ. මම ඒ අවස්ථාවේදී ඔහු අසල නොසිටි නිසා මට ඔහුට ගහපු අය අඳුනාගන්න බැහැ.

ජනාධිපති නීතීඥ:    තමාගේ යට ඇඳුම් කොයි වෙලාවේ කොයි ආකාරයෙන් ගැලවුණාද කියා තමාට කියන්න බැහැ. නේද?

සාක්ෂිකාරිය : මට සිහි කල්පනාවක් තිබුණේ නැති නිසා එහෙම කියන්න බැහැ.

ජනාධිපති නීතීඥ:    තමන් දිවුරුම් පිට උසාවියේ කීවේ ඇත්ත සාක්ෂියක් නේද?

සාක්ෂිකාරිය : ඔව්.

ජනාධිපති නීතීඥ:    එම සාක්ෂිය අනුව මෙම විත්තිකූඩුවේ සිටින කිසිවෙකු කුරාම් ඝාතනය කළා‍ කියන්න බැහැ නේද?

සාක්ෂිකාරිය : මට කියන්න තියෙන්නේ මේ ඝාතනය කළේ මේ චුදිතයන්.බවයි. චුදිතයන් මේ ඝාතනය කරන ආකාරය මා දුටුවේ නැහැ. මාව සාමූහික ස්ත්‍රී දූෂණයකට ලක් කරනු ලැබුවා. මාගේ ශරීරයේ තිබූ සීරීම් තුවාල, තැළීම්, හැපීම් සහ රහසිගත ප්‍රදේශයේ තිබූ දැඩි වේදනාව ඒකට සාක්ෂියක්.

ජනාධිපති නීතීඥ:    වෛද්‍ය පරීක්ෂණය සඳහා තමන්ව වෛද්‍යවරයෙකු වෙත රැගෙන ගියා නේද?

සාක්ෂිකාරිය : ඔව්.

ජනාධිපති නීතීඥ:    තමන් තමන්ට සිදුවූ දේ වෛද්‍යවරිය‍ට කීවා ද?

සාක්ෂිකාරිය : ඔව්.

ජනාධිපති නීතීඥ:    තමන්ට ඉංග්‍රීසි කියවීමට පුළුවන්ද?

සාක්ෂිකාරිය : පුළුවන්.

සාක්ෂිකාරියට අදාළව අධිකරණ වෛද්‍ය නිලධාරිනිය විසින් නිකුත් කළ අධිකරණ වෛද්‍ය වාර්තාව මේ අවස්ථාවේදී සාක්ෂිකාරියට‍ පෙන්වන ලදී.

ජනාධිපති නීතීඥ:    ඔබ මේ අධිකරණ වෛද්‍ය වාර්තාව කියෙව්වා ද?

සාක්ෂිකාරිය : දැන් කියෙව්වා.

ලංකාවේ නීතිය අනුව අධිකරණ වෛද්‍ය වාර්තාවේ විමසීමට ලක්වෙන තැනැත්තාගේ අස්සනෙහි අවශ්‍යතාවයක් නැහැ. තමාව පරීක්ෂා කර වෛද්‍යවරිය ලියනදේ නේද මෙහි අඩංගු වන්නේ.

සාක්ෂිකාරිය : ඔව්.

ජනාධිපති නීතීඥ:    එම අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන් වන්නේ නැහැ නේ ද ස්ත්‍රී දූෂණයක්.

සාක්ෂිකාරිය : මම නිවැරැදිව එය තේරුම් ගත්තාද දන්නනේ නැහැ. එහි කොතන හෝ සඳහන් වී තිබෙනවා මාව කොහාට හෝ රුගෙන ගොස් මාගේ යට ඇඳුම් ඉරා තිබෙන බව.

ජනාධිපති නීතීඥ:    කුරාම්ට කවුරු පහර දුන්නාද කියා තමාට කියන්න බැහැ නේ ද?

සාක්ෂිකාරිය : ඔව්.

ජනාධිපති නීතීඥ:    තමන්ව ලංගික අතවරයකට ලක් කළේ කවුද කියා තමන්ට පැහැදිලිව කියන්න බැහැ නේද?

සාක්ෂිකාරිය : මා දූෂණයට ලක් කළේ කවුරුන්ද යන්න පිළිබඳ පැහැදිලිව කියන්න බෑ. මම ඒ අවස්ථාවේදී සිහිය නැතිව සිටියේ.

ජනාධිපති නීතීඥ:    පිහිනුම් තටාකය අසලදී තමාට කී දෙනෙක් පහර දුන්නා ද?

සාක්ෂිකාරිය : තිදෙනෙකුට වැඩි පිරිසක් මට පහර දුන්නා. මම ප්‍රකාශ කර සිටින්නේ 4ක්, 5ක් හෝ 6ක්.

ජනාධිපති නීතීඥ:    තමා කම්පනයට පත්වූ විට අනෙක්  වේලාවේ නොකියූ දේවල් කියන්නත් පුළුවන්. කරන්නත් පුළුවන් නේ ද?

සාක්ෂිකාරිය : පිළිතුරක් දීමෙන් වැළකී සිටියාය.

ජනාධිපති නීතීඥ:    කම්පිත අවස්ථාවකදී තමන් කටයුතු කරන ආකාරය වෙනස් බවට තමන් පිළිගන්නවා ද?

සාක්ෂිකාරිය : මම එම ප්‍රකාශය සමග එකඟයි. කම්පිත තත්ත්වයට පත් වෙනවා කියන‍්නේ යම්කිසි පුද්ගලයෙකු සිද්ධ වෙන දේවල් නොපෙනෙන නොදකින තත්ත්වයක පත්වෙනවා.

ජනාධිපති නීතීඥ:    ඒ කියන්නේ ඉතාමත් ව්‍යාකූල තත්ත්වයක් නේ ද?

සාක්ෂිකාරිය : මාගේ ජීවිතයේ සිටි ආදරවන්තම පුද්ගලයා මට අහිමි වුණා. සිද්ධ වෙලා තියෙන්නේ කුමක් ද? සිද්ධ වෙන්නේ කුමක් ද? කියන එක ගැන දැඩි කම්පිත තත්වයකට පත් වුණා.

ජනාධිපති නීතීඥ:    තමා පෙම්වතා අතහැර වෙරළට ගොස් අඬනතුරු  තමා සාමාන්‍ය තත්ත්වයක නේද හිටියේ.

සාක්ෂිකාරිය : ඔව්.

ජනාධිපති නීතීඥ:    තුවක්කුවකින් වෙඩි තබ ශබ්දයක් ඇසුණාද?

සාක්ෂිකාරිය : මට එහෙම ශබ්දයක් ඇසුණේ නැහැ.

ජනාධිපති නීතීඥ:    ඔබ ඊයේ කාන්තාවන් දෙදෙනෙකු හඳුනා ගත්තා නේ ද?

සාක්ෂිකාරිය : එක් අයෙක් හොටෙල් කළමනාකාරිනිය ලෙසත්, අනෙක් කාන්තාව දෙවැනි කළමනාකාරිණිය ලෙසත් හඳුනා ගත්තා.

ජනාධිපති නීතීඥ:    එම කාන්තාවන් දෙදෙනා එදින හෝටලයේදී ඔබව හමු වුණා ද?

සාක්ෂිකාරිය : ඔවුන් හෝට‍ලයේ සිටියා කියන කාරණය ගැන කිසිදු සැකයක් නැහැ. රාත්‍රී කාලයේ ඔවුන් රාජකාරියේ යෙදී සිටියාද? නත්තල් සාදයේ ඔවුන් සිටියා ද කියා කියන්න බැහැ.

ජනාධිපති නීතීඥ:    එම කාන්තාවන් එදින රාත්‍රියේ කොයි වේලාවේ හෝ දැක්කා ද?

සාක්ෂිකාරිය : ඔව්.

ජනාධිපති නීතීඥ:    කොයි වේලාවෙහිදීද ඔවුන් දැක්කේ.?

සාක්ෂිකාරිය : මගේ අතේ ඔරලෝසුවක් තිබුණේ නැති නිසා ඒක හරියටම කියන්න බැහැ.

ජනාධිපති නීතීඥ:    එම කාන්තාවන් දෙදෙනා ඔබ දුටුවේ උදේද? හවසද? රාත්‍රියේදීද?

සාක්ෂිකාරිය : ඔවුන් දෙදෙනා සියලු දෙනා සමග කතාකරමින් සිටියා.

තුන්වැනි ‍විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න ඇසීම එතැනින් අවසන් විය.

පස්වැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥ යූ.ආර්.ද සිල්වා මහතා ඇසූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂි කාරිය මෙසේ ද පැවසුවාය.

ජනාධිපති නීතීඥ:    තමා වෙරළේ ඉන්න විට නේද පුද්ගලයෙකු පැමිණ මොකක්ද ප්‍රශ්නේ කියා ඉංග්‍රීසියෙන් ඇහුවේ.

සාක්ෂිකාරිය : ඔහු පැමිණ මුහුද පැත්තට නොව මගෙන් මීටර් කිහිපයක් ඈත්ව ගොඩබිම දෙසට වන්නට බිම වාඩිවුණා.

ජනාධිපති නීතීඥ:    ඔබ ඔහුට යම්කිසි දෙයක් පැවැසූ පසු ඔහු එතැනින් ඉවත්ව ගියාද?

සාක්ෂිකාරිය : නැහැ.

ජනාධිපති නීතීඥ:    ඔහු නත්තල් සාදයට සහභාගි වී සිටි අයෙක් ද?

සාක්ෂිකාරිය : ඒක මට කියන්න බැහැ. ඔහු ලාංකිකයෙක්. සුදු පැහැති ෂර්ට් එකක් හැඳ සිටියා. ඔහුගේ කොණ්ඩය කැරලි ගැසී තිබුණා.

ජනාධිපති නීතීඥ:    එහිදී තමා බියවී හෝටලය දෙසට දිව ආවාද?

සාක්ෂිකාරිය : ඔව්.

ජනාධිපති නීතීඥ:    තමාව කවුරු හෝ ලුහු බැඳ ආවාද?

සාක්ෂිකාරිය : මම එක් වරක් පිටුපස හැරී බැලුවා. නමුත් කිසිවෙකු දක්නට සිටියේ නැහැ. නමුත් මා වෙරළේ සිට හෝටලයට දෙසට දුවන වේගයට කෑගැහුවා. මට එල්ලවූ ප්‍රහාරය බලාපොරොත්තු නොවූ ප්‍රහාරයක්.

ජනාධිපති නීතීඥ:    බිම වැටී සිටි කුරාම්ව ඔසවා ගැනීමට උත්සාහ කළා ද?

සාක්ෂිකාරිය : ඔව්.

ජනාධිපති නීතීඥ:    තමා උදව් ඉල්ලා කෑ ගහන විටත්, හෝටලයේ කිසිවෙකු ඒ අසලට ආවේ නැද්ද?

සාක්ෂිකාරිය : නැහැ. මම කෑගැහුවා. ඉන්පසු මට සිහිය නැතිවුණා.

පස්වැනි විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න ඇසීම එතැනින් අවසන් විය.දෙවැනි, සිව්වැනි සහ සයවැනි විත්තිකරුවන් වෙනුවෙන් හරස් ප්‍රශ්න අසනු නොලැබුණි.

සාක්ෂිකාරි‍යගෙන් නැවැත සාක්ෂි නොවිමසන බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ තුසිත් මුදලිගේ මහතා දන්වා සිටියේය. ඒ අනුව වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රා මෙනෙවිය ලබාදුන් සාක්ෂි එතැනින් අවසන් විය.

ලබන 31 වැනිදා නඩුව යළි කැඳවීමට තීරණය කළ විනිසුරුවරිය, විත්තිකරුවන් සියලු දෙනා එදින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියම කළාය.

උපුටාගැනීම 2014.03.28 මවුබිම පුවත්පත

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්