20 හෙට පාර්ලිමේන්තුවට…

20 හෙට පාර්ලිමේන්තුවට…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වන සංශෝධනය හෙට (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර හෙටින් පසු ඕනෑම පුරවැසියෙකුට දින 07ක් ඇතුළත ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කිරීමට අවස්ථාව පවතී.

එලෙස දින 07ක් ඇතුළුත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ව්‍යවස්ථානුකූලභාවයට අභියෝග නොකරන්නේ නම් 20වන සංශෝධනය දින 07කට පසු පාර්ලිමේන්තුවේ දී 02වන වර කියවීමේ විවාදයට ගත හැකි ය.

නමුත් කිසියම් පාර්ශවක් අදාළ කාලය තුළ 20වන සංශෝධනය අභියෝගයට ලක් කරන්නේ නම්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම ඉදිරිපත් කළ දින සිට දින 21ක් ඇතුළත සිය තීරණය ඉදිරිපත් කළ යුතු ය.

අදාළ කාල සීමාව තුළ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට පාර්ලිමේන්තුවට අයිතියක් හිමි නොවේ.

දින 21ක් නොගෙන ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය කලින් දිනක දී ලබා දෙන්නේ නම්, ඉන් පසුව 20වන සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීරණය මත පදනම්ව 02 වන වර කියවීමේ විවාදය සඳහා ගත හැකි වේ.

දෙවන වර කියවීමේ විවාදය අවසානයේ ජන්ද විමසීමක් පැවැත්වෙන අතර එහිදී එය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පරිදි පාර්ලිමේන්තු වේ තුනෙන් දෙකක බහුතරයකින් හෝ ජනමතවිචාරණයකින් සහ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය යුතු ය.

ඉන්පසු කාරක සභා අවස්ථාවේ දී 20 වන සංශෝධන පනතේ සියලුම වගන්ති එකිනෙක සලකා බලනු ලබන අතර ඕනෑම සංශෝධනයක් යෝජනා කිරීමටද එහිදී අවස්ථාව පවතී.

අනතුරුව 03වන වර කියවීමේ විවාදය අවසානයේද ජන්ද විමසීමක් පැවැත්වෙන අතර ඊටද පාර්ලිමේන්තු වේ තුනෙන් දෙකක බහුතර බලයක් හිමිවිය යුතු ය.

අවසාන වශයෙන් කථානායකවරයා පනතට අත්සන් තැබූ විට එය නීතිය බවට පත්වනු ඇත.

Facebook
Twitter
LinkedIn