තවත් ක්‍රිකට් ක්‍රීඩාංගනයක අවශ්‍යතාවය කුමක්දැයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා විමසයි.
ඒ මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය හෝමාගම දියගම ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත බවත් එහි ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට නියමිත අතර අදියර දෙකක් යටතේ වසර තුනක් ඇතුළත නව ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් අවසන් කිරීමට නියමිත බවත් සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා කළ ප්‍රකාශයෙන් පසුව ය.
අක්කර 26ක වපසරියකින් යුක්ත මෙම ක්‍රීඩාංගනයේ එකවර නරඹන්නන් 60,000කට තරග නැරඹිය හැකි අතර දිවා-රාත්‍රී තරග පැවැත්වීමේ හැකියාවෙන්ද යුක්ත වනු ඇතැයි බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මහතා විමසන්නේ තවත් ක්‍රිකට් ක්‍රීඩාංගනයක අවශ්‍යතාවය කුමක්ද යන්නයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ, මෙරට පිහිටි ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගනවලට ප්‍රමාණවත් පරිදි ජාත්‍යන්තර හා පළමු පෙළ තරග නොමැති පසුබිමක තවත් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගනයක් ඉදිකිරීමේ අවශ්‍යතාවය කුමක්ද යන්න ගැටලුවක් බවයි.
වාර්ෂිකව ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන ජාත්‍යන්තර තරග ප්‍රමාණය 20 – 25 අතර ප්රමාණයකි. ඒ සඳහා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගන 07ක් ශ්‍රී ලංකාව සතුව පවතී. ඒ අනුව එක් ක්‍රීඩාංගනයකට වසර පුරාම ලැබෙන තරග ප්‍රමාණය තුනක් හෝ හතරක් පමණ වේ.
මීට පෙර මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය බව පවසමින් ඉදිකළ සූරියවැව ක්‍රීඩාංගනය පළමු පෙළ තරග පවා නොපවත්වා අතහැර දමා තිබේ. එසේ තිබියදී තවත් ක්‍රීඩාංගනයක් ඉදිකිරීමේ අවශ්‍යතාවය කුමක්ද යන්න ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මහේල ජයවර්ධනට පමණක් නොව රටේ සාමාන්‍ය ජනතාවට පවා මතුවන ගැටලුවකි.
කොරෝනා වසංගතය හමුවේ රටේ ආර්ථිකය කඩා වැටී ඇති බව පවසමින් රාජ්‍ය සේවකයින්ගේ පඩි පතට පවා අත තියන ආණ්ඩුව බිලියන ගණන වියදම් කරමින් ක්‍රකට් ක්රීඩාංග ඉදි කිරීමට ව්‍යාපෘති සකස් කිරීම ගැන ජනතාවද මේ වනවිට ප්‍රශ්න කරමින් සිටිති.











