ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා රාජ්‍ය සේවකයින්ගේ පඩිය ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීම් ලිපිය ආපසු හරවා ගත යුතු බවත් ආණ්ඩුවේ උවමානව වෙනුවෙන් සිදුකරන මෙම ඉල්ලීම කිසිදු සාදාචාරාත්මක නොවන ක්‍රියාවක් බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පෙන්වා දෙයි. අද (08) දින පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද ජයසිංහ මහතා…
සමස්ත රාජ්‍ය සේවය ආවරණය වන විදියට මෙවැනි ලිපියක් යවන්නේ රාජ්‍ය බලය අවභාවිතා කරමින්. මොහුට පසුගිය කාලෙ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ලබා දී තිබුනා කිසිදු රාජ්‍ය තනතුරක් දරන්න සුදුසු නැහැ කියල. ඒවගේම හිටපු සමහර අමාත්‍යවරු කියල තිබුනා ආර්ථික ඝාතකයෙක් ලෙස. මේක මොහු පුද්ගලිකව යවපු ලිපියක් වුනාට මේක ආණ්ඩුවේ ඉල්ලීම.
මේ වෙනකොට පාර්ලිමේන්තුව විසුරුවා තියෙද්දීත් රාජ්‍ය ඇමතිවරු, හිටපු රාජ්‍ය ඇමතිවරු, කථානායක, විපක්ෂ නායක මේ සියල්ලට නිල නිවාස, නිල වාහන, ඉන්ධන දීමනා ලබාදෙන්න කැබිනට් පත්‍රිකාවක් අනුමත කරනව. මේ ජනතාව වෙනුවෙන්ද. නැහැ ඒ අයගෙ පක්ෂයේ ප්‍රවර්ධනයට.
රුපියල් කෝටි 3,200ක් අධිවේගී මාර්ග හදන්න කැබැනට් පත්‍රිකාවක් නිකුත් කරල තියෙනවා. අපි අහන්නෙ මෙවැනි වෙලාවක අධිවේගී මාර්ග සඳහා කැබිනට් පත්‍රිකා අනුමත කරන්නෙ ඇයි. එය ටික කලකට හෝ ප්‍රමාද කරන්න පුලුවන්. නමුත් මේ කරන්නෙ ආණ්ඩුව බලව්‍යාපෘතිය වෙනුවෙන් කියන එක පැහැදිලියි.
බොරතෙල් බැරලයක මිල ඩොලර් 128කට තියෙද්දි අපි ගෙවපු මිලම තමයි ඩොලර් 10ක් වෙද්දිත් අපි ගෙවන්නෙ. මේ තරම් මුදලක් එක පැත්තකින් රාජ්‍ය සේවකයින්ගෙන් ගසාකන ගමන් තමයි මේ විදියට පඩියෙන් කොටසක් ලබාදෙන්න කියල ඉල්ලීම් කරන්නෙ.
බැඳුම්කර හොරකම නිසා ට්‍රිලියනකට වැඩිය පාඩුවක් තියෙනව කියල මේ ආණ්ඩුවේ ලොක්කො තමයි කිව්වෙ. නමුත් අද මොකක්ද වෙන්නෙ. බැඳුම්කර හොරුන් පැත්තක.
හිටපු විගණාකධිපති ගාමිණී විජේසිංහ මහතා කිව්ව මේ රටේ ණය ට්‍රිලියන 11යි. හැබැයි සැබෑ වත්කම් පෙන්නන්නෙ ට්‍රිලියන 1.8යි කියල. එතකොට ඉතිරි ට්‍රිලියන 09කට වෙච්ච දෙයක් නැහැ කියල. ඒ වගේ මහා දැවැන්ත නාස්තිකාරයන් තමයි මේ විදියට රාජ්‍ය සේවකයින්ගෙ පඩිය දෙන්න කියල කියන්නෙ.
ඒ වගේම මේ රටේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සඳහා රුපියල් බිලියන 100ක් මාසිකව වියදම් වෙනව කියල පී.බී ජයසුන්දර මහත්තය කියල තිබ්බ. නමුත් අපි දන්න තරමින් එහි සැබෑ මුදල බිලියන 70කට වඩා අඩුයි. මෙවැනි බොරු ප්‍රචාරය කරන්නෙ කාගෙ උවමනාවටද?
ඒ වගේම තමයි රාජ්‍ය සේවකයින්ට පසුගිය කාලයේ උත්සව අත්තිකාරම් දීමනා ආදී මුදල් කිසිවක් ලැබුනෙ නැහැ. එවැනි වටපිටාවක ජීවත්වන රාජ්‍ය සේවකයින්ගෙන් මෙවැනි ඉල්ලීම් කිරීම කිසිසේත් සාධාරණ නැහැ. ඒ වගේම දැන් ත්‍රිවිධ හමුදාවෙ සියලු සාමාජිකයින්ගෙන් මැයි මාසෙ වැටුපෙන් 30%ක් කපාගන්න සූදානම් වෙනව කියල තොරතුරු තිබෙනව. එය අතිශය අසාධාරණයි. කොරෝනා මර්ධනය සඳහා විශාල දායකත්වයක්, කැපකිරීමක් කරපු ඔවුන්ගෙ පඩියෙන් මුදල් කැපීම කොහෙත්ම සාධාරණ නැහැ.
දැන් පී.බී ජයසුන්දරගෙ ලිපිය අනෙක් රාජ්‍ය ආයතන හරහාත් ක්‍රියාත්මක වෙමින් තිබෙනව.
ඒ අනුව තමයි සබරගමුව පළාතෙ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක යවල තියෙන්නේ සියලු පාසල්වලට, අධ්‍යාපන කාර්යාලවලට ලිපියක් ජූනි මස වැටුපෙන් වැටුප් කපන්න කටයුතු කරන්න කියල. මෙය ඉතාමත් බරපතල ක්‍රියාවක්.
ඒ නිසා පාලකයො වශයෙන් තමන් කළ යුතු ආදර්ශය රටට දියයුතුයි. එහෙම නැතුව රාජ්‍ය සේවකයින්ගෙ බඩට ගහන්න එපා.










