ආණ්ඩුව හදන්නේ තර්ජනයෙන් රාජ්‍ය සේවක වැටුප ගන්න –  ඒකට වෘත්තීය සමිති සූදානම්

ආණ්ඩුව හදන්නේ තර්ජනයෙන් රාජ්‍ය සේවක වැටුප ගන්න –  ඒකට වෘත්තීය සමිති සූදානම්

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර රාජ්‍ය සේවකයින්ට තම වැටුප, අඩ වැටුප හෝ දිනක වැටුප පරිත්‍යාග කරන්නැයි ඉල්ලීම් කරද්දී මේ වනවිටත් බැංකු, තෙල් ආදී ආයතන තුළ වෘත්තීය සමිති නායකත්වයට බලපෑම් කරමින්, තර්ජනය කරමින් වැටුප පරිත්‍යාග කරන්නැයි කියා තිබෙන බවත් එය කෙසේවත් ඉල්ලීමක් නොව තර්ජනයක් බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත මහතා පවසයි.

මෙම වසංගතය අවස්ථාවේ වෘත්තීය සමිති සියල්ල වගකීම් සහගත ලෙස ඉල්ලීම් සියල්ල අකුලා සිටි බවත් එවැනි අවස්ථාවක් පාවිච්චි කරමින් ආණ්ඩුව වැටුප පරිත්‍යාග කරන ලෙස සිදුකරන බලපෑමට දැඩි විරෝධය පලකර සිටින බවත් අද (08) දින මාධ්‍ය හමුවක් අමතමින් ලාල්කාන්ත මහතා පැවසීය.

එසේම රාජ්‍ය සේවකයින්, පෞද්ගලික අංශයේ සේවයින් මේ වෙනකොට සිටින්නේ ගැටලූ ගණනාවකට මුහුණ පා බවත්, පසුගිය කාලය පුරාම ගුරුවරුන්ගේ වැටුප් ප‍්‍රශ්ණයක් තිබූ බවත්, වතු කම්කරුවන්ට රුපියල් 1000 තවමත් ලබා දී නැති බවත්, දුම්රිය සේවකයින්ගෙ ගැටලු ගණනාවක් තිබූ බවත් එමෙන්ම විශ‍්‍රාම ගිය විශාල පිරිසකගේ බරපතල වැටුප් ප‍්‍රශ්ණයක් තිබූ බවත්, පෞද්ගලික අංශයේ සේවකයින් විශාල පිරිසකට සේවය අහිමි වීමේ තත්වයක් ඇතිව තිබෙන බවත්, නමුත් මෙම වසංගත තත්වය යටතේ ඔවුන් එම ඉල්ලීම් සියල්ල යටපත් කළ බවත් ලාල්කාන්ත මහතා මෙහිදී පැවසීය. එැවැනි අවස්ථාවක පී.බී ජයසුන්දර මාසික වැටුපෙන් ඉතා අමාරුවෙන් ජීවත් වන රාජ්‍ය සේවකයින්ගෙන් වැටුප් ඉල්ලනවට වඩා දැනට දේපල තිබෙන මැති ඇමතිවරුන්ගෙන්, අගමැතිගෙන්, ජනාධිපතිවරයාගෙන් ඇතුලු පසුගිය කාලයේ ජනතා දේපල කොල්ල කෑ අයගෙන් එම මුදල් ලබාගැනීමට කටයුතු කළ යුතු බවත් මෙහිදී ඔහු පැවසී ය.

එමෙන්ම පී.බී ජයසුන්දර මෙම ඉල්ලීම ඉල්ලා අස්කර ගත යුතු බවත් එමෙන්ම වෘත්තීය සමිතිවලට මෙම වැටුප් පරිත්‍යාග කරන ලෙස සිදුකරන බලපෑම සම්බන්ධයෙන් ඉදිරියේදී ක‍්‍රියාමාර්ග ගන්නා බවත් මෙහිදී ලාල්කාන්ත මහතා පැවසී ය.

වෘත්තීය සමිති ව්‍යාපාරය වසංගතයක් පැතිර යන මෙවැනි අවස්ථාවක ඉතා වගකීම් සහගත ලෙස කටයුතු කරද්දී ආණ්ඩුව අනුවණකාරී ලෙස කටයුතු කරනවානම් වෘත්තීය සමිතිවලට මීට එරෙහිව ක‍්‍රියාමාර්ග ගන්න ඉදිරියේදී සිදුවන බවද මෙහිදී ලාල්කාන්ත ආණ්ඩුවට අවධාරණය කළේ ය.

Facebook
Twitter
LinkedIn