ජනතාවට මේ පාලකයින් ගැන තේරුම් ගන්න මේ මාස දෙක ඇති

ජනතාවට මේ පාලකයින් ගැන තේරුම් ගන්න මේ මාස දෙක ඇති

“මේ පාලකයන් කවුද, ඔවුන්ගේ උවමනාවන් කුමක්ද යන්න අවබෝද කරගන්න ගෙවුනු අවුරුදු 72ක මුළු ඉතිහාසයම අධ්‍යයනය කිරීම අපහසු නම් ගතවූ මාර්තු අප්‍රේල් මාස දෙක අධ්‍යයනය කරන්න. ජනතාවගේ මළ මිනී මතින් ගමන් කොට හෝ බලය තහවුරු කර ගැනීමේ සාහසික බල උවමනාවෙන් පෙළෙන කණ්ඩායමක් බව, කවර ව්‍යසනයක් මැද හෝ මහජනයාගේ ධනය මංකොල්ල කන්න සැදී පැහැදී සිටින බව, කවර තත්වයන් යටතේ හෝ ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථාව සියල්ල අමතක කොට බල උවමනාව වෙනුවෙන් කටයුතු කරන බව බල උන්මාදය මේ මාස දෙකක කාලය තුළ ඉතා හොඳින් ඔප්පු කොට තිබෙනවා.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසූවේ ජනතා විමුක්ති පෙරමුණ පැවැත්වූ 2020 රතු මැයි දින සැමරුම් වැඩසටහනට එක්වෙමිනි.

මෙවර ජනතා විමුක්ති පෙරමුණ මැයි දිනය සමරනු ලැබූවේ අන්තර්ජාල සජීවි විකාශයක් ලෙසිනි. මෙහිදී ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත මහතා අනුරාධපුරයේ සිට සම්බන්ධ වූ අතර ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ පක්ෂ නායක අනුර දිසානායක මහතා පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේ සිට අන්තර්ජාලය ඔස්සේ අදහස් දැක්වීය.

එහිදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා…

“ජාත්‍යන්තර කම්කරු දිනය සමරන මේ මොහොතේ ලෝකයම මුහුණදී සිටින කොරෝනා වෛරසයෙන් පෙන්නුම් කරන්නේ මිනිසුන්ගේ ඉදිරි මාවත සකස්වී තිබෙන්නේ සාමූහිකත්වය, එකතුවීම, එක්ව අරගල කිරීම, එක්ව මැදිහත්වීම කියන සාමූහික සාධක ගැනයි. අවුරුදු 72ක් පුරාවට මේ පක්‍ෂ දෙක අනුගමනය කළ ආර්ථික සමාජයීය ප්‍රතිපත්ති හේතුකොටගෙන අපේ රට විශාල ව්‍යසනයකට ගෙනත් තිබෙනවා. ආර්ථික, සමාජයීය වශයෙන් නිෂ්පාදනය බිඳවැටීමෙන් මිනිසුන් අතර තිබෙන පොදු හැඟීම සුනු විසුනු කිරීමෙන් ආදී හැම අතින්ම බිඳ වැටෙන රාජ්‍යයක් තිබෙන්නේ. මේ පාලකයන් කවුද, ඔවුන්ගේ උවමනාවන් කුමක්ද යන්න අවබෝද කරගන්න ගෙවුනු අවුරුදු 72ක මුළු ඉතිහාසයම අධ්‍යයනය කිරීම අපහසු නම් ගතවූ මාර්තු අප්‍රේල් මාස දෙක අධ්‍යයනය කරන්න. ජනතාවගේ මළ මිනී මතින් ගමන් කොට හෝ බලය තහවුරු කර ගැනීමේ සාහසික බල උවමනාවෙන් පෙළෙන කණ්ඩායමක් බව, කවර ව්‍යසනයක් මැද හෝ මහජනයාගේ ධනය මංකොල්ල කන්න සැදී පැහැදී සිටින බව, කවර තත්වයන් යටතේ හෝ ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථාව සියල්ල අමතක කොට බල උවමනාව වෙනුවෙන් කටයුතු කරන බව බල උන්මාදය මේ මාස දෙකක කාලය තුළ ඉතා හොඳින් ඔප්පු කොට තිබෙනවා.

පසුගිය වසර අවසන් වන විට කොරෝනා වසංගතය ලෝකය පුරා ව්‍යාප්තවීමේ අනතුරකට මුහුණදී තිබුණා. ලංකාව තුළ පළවැනි රෝගියා ජනවාරි මාසයේ මුණ ගැසුණා. අපේ කලාපයේ සීග්‍රයෙන් වෛරසය බෝවී ගියා. පාලකයන් පළමුකොට කල්පනා කළ යුතුව තිබුණේ වසංගතයෙන් අපේ රට මුදවා ගැනීමේ මූලික සැලසුම් ගැන. නමුත් ඒ වෙනුවට නැවත නැවතත් කල්පනා කළේ කෙටි කාලීන බල උවමනාවන් ඉදිරියට ගෙන යාම ගැනයි. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ලැබුණු පළමු රාත්‍රියේ එය විසුරුවා හැර 2/3ක බලය ලබාගැනීමේ විනාශකාරී වුවමනාව වෙනුවෙන් පෙළ ගැහුණේ ඒ නිසයි. වසංගතයක් ගැන සාධක ඔප්පු වෙමින් තිබියදීත් සෞඛ්‍ය ඇමතිවරිය, ජනාධිපතිවරයා, ලක්‍ෂ්මන් යාපා, ඩලස් අලහප්පෙරුම ඇතුළු ආණ්ඩුවේම ප්‍රයත්නය බවට පත්වී තිබුණේ මාර්තු 19වැනිදා නාමයෝජනා කැඳවා අප්‍රේල් මාසයේ 25වැනිදා මැතිවරණය පැවැත්වීමට. විනාශකාරී වෛරසයට රට ගොදුරුවීම වලක්වනවා වෙනුවට සාහසික දේශපාලන න්‍යාය පත්‍රයකට රට ගෙනගියා. නාම යෝජනා ලබාගෙන අවසන් වන තුරු කොරෝනා වසංගතය මර්දනය කිරීමට අදාල ඵලදායී කිසිදු ක්‍රියාමාර්ගයක් ඔවුන් අනුගමනය කළේ නැහැ. මැතිවරණ කොමිෂන් සභාව විසින් මාර්තු 20වැනිදා දින නියමයක් නොමැතිව මැතිවරණය කල් දැම්මා.

මේ තුළ පවා ආණ්ඩුව මුළුමනින්ම කටයුතු කරමින් තිබුණේ තමන්ගේ බල සිතියම දියත් කර ගන්න. අප්‍රේල් මාසයේ 20වැනිදා මැතිවරණ කොමිසම රැස්වන විට කොමිසමට වසංගතය අවසන් බවට සංඥාවක් දීමේ උවමනාව ආණ්ඩුවට තිබුණා. ඒ අනුව මැයි 30වැනිදාට පෙර මැතිවරණය පැවැත්වීමේ ඉඩකඩ තිබෙන බව තහවුරු කිරීමට උවමනා වුණා. මැතිවරණ කොමිසමට රාජකාරී සම්පූර්ණ කර ගැනීමට දවස් 35ක කාලය ලබාදීමේ අවස්ථාවක් ගන්න ආණ්ඩුවට උවමනා වුණා. අගමැතිවරයා ඉක්මනින්ම දිනයක් ලබාගැනීමට මැතිවරණ කොමිසමට අනියම් බලපෑමක් එල්ල කළා. සෞඛ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළා අප්‍රේල් 19 වන විට කොරෝනාවලින් රටක් තොර කඑනබවයි. අප්‍රෙල් 19වන විට කොරෝනා සමු ගනියි කියලා සිළුමිණ පුවත්පත වාර්තා කළා. කොරෝනා ඉවරයි කියලා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨයේ සඳහන් කළා. කොරෝනා ඉවරවුණත් නැතත් ඡන්දය තියන බව ඇමතිවරුන් ප්‍රකාශ කළා. අප්‍රේල් 20වැනිදා රටේ දිස්ත්‍රික් ගණනාවක ඇඳිරි නීතිය ඉවත් කළා. අවදානම් කලාප ලෙස හඳුනාගත් ප්‍රදේශවල අප්‍රේල් 22වැනිදා ඇඳිරි නීතිය ඉවත් කරන්න තීරණය කළා. කිසිදු සෞඛ්‍ය අංශයක නිර්දේශයකින් තොරව කටයුතු කළා. පාස්කු ප්‍රහාරයක් එල්ල වන බවට වූ බුද්ධි අංශවල අනතුරු ඇඟවීම් කිසිදු ගණනකට නොගෙන කටයුතු පාලකයන් සහ කොරෝනා වසංගය පිළිබඳව සෞඛ්‍ය අනතුරු ඇඟවීම් කිසිවක් නොතකා කටයුතු කළ පාලකයින්ගේ වෙනස කුමක්ද?

සෞඛ්‍ය අංශවල කිසිදු නිර්දේශයකින් තොරව ඇඳිරි නීතිය ඉවත් කිරීමට කටයුතු කළ බව තහවුරුවූ අවස්ථා කිහිපයක් තිබුණා. 22වැනිදා ඉවත් කරන බව කී ඇඳිරි නීතිය 24වැනිදා දක්වාත් පසුව එය 27 දක්වාත් ඊටපසුව මැයි 04වැනිදා දක්වාත් කල් දැම්මේ ඉදිරි දැක්මක් නොතිබුණු නිසයි. තමන්ගේ සාහසික බල උවමනා වෙනුවෙන් පමණක් ලිහිල් කිරීමට මේ අවස්ථා කිහිපයේදීම උත්සාහ කළා. මෙවැනි වසංගතයකදී ආසාධිතයන් මුණ ගැසෙන පළමු කණ්ඩායම වන සෞඛ්‍ය අංශ වෙත ආරක්‍ෂක ඇඳුම් කට්ටල ලබා දෙන්නවත් මේ පාලකයන් ක්‍රියා කළේ නැහැ. කොළඹ නගරය ආශ්‍රිතව පී.එච්.අයි. මහත්වරුන් තමන් පී.සී.ආර්. පරීක්‍ෂණයට භාජනය විය යුතු බවට ලිපි ඉදිරිපත් කළා. පළමුකොටම ආසාධිතයන් මුණ ගැසෙන්නේ පී.එච්.අයි. මහත්වරුන්. සෞඛ්‍ය සේවයේ වෛද්‍යවරු, හෙද නිලධාරීන් සහ අනෙකුත් සහායක කාර්ය මණ්ඩලයට අවශ්‍ය ආරක්‍ෂිත ඇඳුම් කට්ටකල සහ අනෙකුත් තාක්‍ෂණික මෙවලම් ලබාදීමට ආණ්ඩුව ඉතාමත් අඩු අවධානයක් යොමු කළා. මිනුවන්ගොඩ රෝහලේ කාර්ය මණ්ඩලය පී.සී.ආර්. පරීක්‍ෂණයකට ලක්කළ යුතු බව ඉල්ලා සිටියත් ආණ්ඩුව ඊට සූදානම් වුණේ නැහැ. ඔවුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට සූදානම් වීම නිසා පරීක්‍ෂණ සඳහා අවස්ථාව ලබා දුන්නා. වෛරසය මැඩ පැවැත්වීම සඳහා ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටු කරන කණ්ඩායම්වලට පවා මූලික පහසුකම්වත් ලබාදෙන්න සූදානම් නැති බව මේ පාලකයන් අප හමුවේ ඔප්පු කොට තිබෙනවා. ඔවුන් අපේ රට පාලනය කරන්න සුදුසුද?

අපේ රටේ ආරක්‍ෂක හමුදව කොරෝනා මර්දන කටයුතුවලට විශාල ලෙස උපයෝගී කරගත්තා. නිරෝධායන ක්‍රියාවලියේදී රෝගීන් සොයා ගැනීමේදී විශාල මෙහෙයුමක් දියත් කරනු ලැබුවා. නොවැලැක්විය හැකි ලෙසම ආසාධනයට ලක්වීමේ පළමු කණ්ඩායම බවට ඔවුන් පත්වී සිටියා. ඔවුන්ට ආරක්‍ෂක ක්‍රමවේදයන් ගැන උපදෙස් ලබාදී මූලික ආරක්‍ෂක උපකරණ ලබාදිය යුතුව තිබුණා. නමුත් ඊට සම්පූර්ණයෙන්ම ආණ්ඩුව අසමත් වී තිබුණා. මේ නිසා 250කට අධික නාවික හමුදා නිලධාරීන් පිරිසකුත් යුද හමුදාවේ නිලධාරීන් 04 දෙනෙකුත් වෛරසයට ගොදුරු වී ඇති බව වාර්තා වෙනවා. එම ආරක්‍ෂක අංශ නිලධාරීන් පමණක් නොවෙයි, ඔවුන්ගේ පවුල්වල අය, ඥාති මිත්‍රාදීන් වෛරසයේ ගොදුරු බවට පත්වී සිටිනවා. ඔවුන් මේ වෛරසයේ ගොදුරු බවට පත්වීමේ මූලික වගකීම පාලකයන් බාර ගත යුතුයි. ආණ්ඩුව තමන්ගේ පටු බල උවමනා නිසා කටයුතු කරන අතර වෛරසය මැඩ පැවැත්වීමේ මූලික ක්‍රියාකාරිකයන්ට කිසිම පහසුකමක් සලසා තිබුණේ නැහැ.

මාර්තු 20වැනිදා සිට දින දෙකක් හැරුණුකොට රතු කලාපවලට දින 40ක් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. අනෙක් ප්‍රදේශවල වරින් වර ඇඳිරි නීතිය ඉවත් කළා. නමුත් ලිහිල් කළේ කිසිදු වෛද්‍ය නිර්දේශයක් අනුව නොවන බව හෙළිවී තිබෙනවා. හැඳනුම්පත් අංක අනුව සමජයට පිවිසීමේ ක්‍රියාමාර්ගයක් හඳුන්වා දුන්නා. නමුත් හදිසියේම අද (මැයි 01) ඇඳිරි නීතිය පැනවීමෙන් බලවත් අපහසුතාවයට පත්වුණා. ආණ්ඩුව ඇඳිරි නීතිය ඉවත් කළත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ නගර ගණනාවක වෙළඳ සංගම් තීරණය කළා කඩ සාප්පු වසා දමන්න. අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. පවතින තත්වය ගැන සලකා බලා තීන්දු තීරණ ගැනීම සම්බන්ධයෙන්.

හතර දෙනෙක්ගෙන් යුත් පවුලකට මාසික වියදම රු. 42,000ක් බව රජයේ වාර්තාවල දැක්වෙනවා. නමුත් රු. 5000 කියන්නේ සුළු මුදලක්. නමුත් ඒ 5000 ලබාගැනීමට ගම්මාන ඇතුළේ තිබෙන පෝලිම්, තිබෙන ආරවුල් ගැන සලකා බලන්න. ජනතාව දැඩි පීඩනයකට පත්වෙලා. මේ වෙලාවේ සල්ලි දෙන්නේ නැත්නම්, ජනතාවගේ ජීවත් වීමේ වගකීම බාර ගන්නේ නැත්නම් එවැනි ආණ්ඩු තීරණ ගන්නේ කුමණ අවස්ථාවේද කියලා අපි අහනවා. රු.5000 ලබාදී මාසයකට වඩා අධික කාලයක් ගතවී තිබෙනවා. නමුත් මෙම පාලකයන් විසින්ම අප්‍රේල් මාසයේ 2වැනිදා ප්‍රකාශ කළා ලෝක බැංකුව ඩොලර් බිලියන 128ක ආධාරයක් ලබාදෙන බවට. අප්‍රේල් 09 ප්‍රකාශයට පත්කළා යුරෝ මිලියන 22ක ආධාරයක් යුරෝපා සංගමයෙන් ලබාදෙන බවට. අප්‍රේල් 12වැනිදා ප්‍රකාශ කළා ඩොලර් මිලියන 1.3ක් ඇමරිකා එක්සත් ජනපදය ලබාදෙන බවට. ඒ වගේම චීන රජයෙන් ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලබාගන්නා බව මාර්තු 18වැනිදා ප්‍රකාශ කළා. ණය ඩොලර් මිලියන 1100 දක්වා ලබාගන්න සූදානම් බව ප්‍රකාශ කළා. ව්‍යසනයට පත්වී සිටින ජනතාව ජීවත් කරවීම සඳහා මේ ආධාර සහ ණය යොදා ගැනීමට නියමිතව තිබුණත් ඔවුන් වෙත ලබාදී තිබෙන්නේ රු.5000ක ඉතාම සොච්ච්ම් මුදලක් පමණයි. මෙවැනි දුෂ්කරම තත්වයකට ජනතාව පත්වී සිටින අවස්ථාවක පවා කුප්‍රකට බැසිල් රාජපක්‍ෂට මුදල්වල භාරකාරත්වය ලබාදීමෙන් ඔප්පු කරන්නේ කුමක්ද? මේ මුදල් පවා මංකොල්ල කෑමේ සූදානමයි.

අප්‍රේල් මාසයේ විශාල වශයෙන් අස්වනු නෙලීමේ ඉලක්ක සහිතව ගොවි ජනතාව වගා කටයුතු සිදුකරනවා. බැංකු ණය, උකස් ණය, කෘෂිරසායන ද්‍රව්‍ය ණයට ගන්නවා. නමුත් දැන් අස්වැන්න ගොවිබිම්වල විනාශ වෙමින් තිබෙනවා. පාලකයන් ගොවි ජනතාව සම්බන්ධයෙන් ප්‍රමුඛ අවදානය යොමු කළ යුතුයි. අපේ රටේ අපනයනවලින් සියයට 44ක් නිෂ්පාදනය කරන්නේ අපනයන කලාප වල. ශ්‍රම බලකාය සියයට 33ක් මේ තුළ නියැලී ඉන්නවා. තව සියයට 15ක් කොන්ත්‍රාත් පදනමින් සේවය කරනවා. ඔවුන් බොහෝ පිරිසක් ඉවත් කොට තිබෙනවා. අනියම් සේවකයන්, මෑන් පවර් ආයතනවලින් ලබාගත් සේවකයන් ඉවත්කොට තිබෙනවා. අපනයන කලාප තුළ විශාල ව්‍යයසනයක් ඇතිවන බව විශේෂඥයන් අනතුරු අඟවනවා. පවුල් ලක්ෂ 10ක පමණ ප්‍රධාන ආදායම් මාර්ග බවට පත් වුණේ ත්‍රීවීල් සේවය. සංචාරක ක්ෂේත්‍රයේ ග්‍රාමීය මට්ටම දක්වා ආදායම් ඉපයූ විශාල පිරිසකට යැපුම් මාර්ග අහිමිවෙලා. කොළඹ ආශ්‍රිතව දෛනික කුලී මත ආදායම් ඉපයූ 19,000ක් පමණ කොටුවී ඉන්න බව පොලිස් වාර්තාවල සඳහන් වෙනවා. ඊටත් අමතරව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල 43,000ක් පමණ කොටුවෙලා. ආණ්ඩුව මේ කිසිවෙක් පිළිබඳව අවදානය යොමුකර නැහැ. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අපේ රටට ඩොලර් කෝටි 750ක පමණ විදේශ විනිමයක් උපයා දුන්නා. මේ අයගේ ජීවිත අනාරක්ෂිතවී තිබෙනවා. වතු ක්ෂේත්‍රයේ කම්කරුවන්ට රු.1000ක දෛනික වැටුපක් ලබාදෙන බව පසුගිය ජනාධිපතිවරණයේදී දුන් පොරොන්දුව මාර්තු 01 වනදා සිට ක්‍රියාත්මක කරන බව කීවා. ඒ පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් අද දක්වා අනුගමනය කර නැහැ. ඒ නිසා කොරෝනා ව්‍යයසනය හේතු කොටගෙන සමාජයේ විශාල කණ්ඩායමක් ආර්ථික කඩා වැටීමකට ලක්වෙලා. ජනතාව ගැන අවධානය යොමු නොකර තම බල වුවමනාව ගැන පමණක් හිතන මේ පාලකයින් ගැන තේරුම් ගන්න ගෙවී ගිය මාස දෙක පමණක් ප්‍රමාණවත්.

මේ වනවිට ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නේ ව්‍යවස්ථාව, නීති, අණ පනත් මුලුමනින්ම පසෙකලා. බැසිල් රාජපක්‍ෂ රාජ්‍ය මුදල් පිළිබඳව භාරකාරත්වයක් දරන්නේ කොහොමද කියලා රූපවාහිනී සංවාදවල ප්‍රශ්න කළාම ආණ්ඩුවේ ඇමතිවරුන් පවා නිරුත්තර වෙනවා. මහින්ද රාජපක්‍ෂත් ගෝඨාභය රාජපක්‍ෂත් රාජ්‍ය මුදල් රිසි සේ තමන්ට පරිහරණය කරන්න පුළුවන් බව කල්පනා කරනවා නම් එය ඔවුන්ගේ අපේක්‍ෂාව වුණත් නීතිය නොවන බව තේරුම් ගත යුතු වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථාව, නීතිරීති සම්බන්ධයෙන් කුමක් හෝ ඉතිරිවී තිබෙනවා නම් ඒ තත්වයත් අවසන් කරීමට කටයුතු කරන බව පසුගිය මාස දෙක තුළ ඔප්පුකොට තිබෙනවා. මැයි මාසයේ 04වැනිදාට අරලිය ගහ මන්දිරය වෙත හිටපු සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැඳවා තිබෙනවා. ඒ කුමක් වෙනුවෙන්ද? කොරෝනා මර්දන කටයුතු සඳහා ගොඩනගන පොදු යාන්ත්‍රණයක කොටස්කරුවන් බවට සියලුම දෙනා පත්කරගන්න අග්‍රාමත්‍යවරයාට අවශ්‍යවී තිබෙන්නේ නම් ඒ සඳහා යෝජනා ලබා දෙන්නත් අපි ලැහැස්තියි. නමුත් ඒ වෙනුවට 225ක් අරලියගහ මන්දිරයට කැඳවලා සෙල්ලම් පාර්ලිමේන්තුවක් හදන්න උත්සහ කරනවා. ව්‍යවස්ථාවෙන් තමන් හිරවී තිබෙන ගැටලුවලට විසඳුම් සොයාගන්න මෙයින් හැකියාවක් නැහැ. අරලියගහ මන්දිරයට මොවුන් එකතු කිරීමෙන් කිසිදු ඵලක් නැහැ. ව්‍යවස්ථා අර්බුදයක් තිබෙනවා, ඒ අර්බුදයට වහාම ආණ්ඩුව විසඳුම් සොයාගත යුතුයි. එයට විසඳුම් ලබාගත හැකිවන්නේ පාර්ලිමේන්තුව කැඳවීමෙන් හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට යාමෙන් පමණයි. අරලියගහ මන්දිරයේ සෙල්ලම් පාර්ලිමේන්තුවක් කැඳවීමෙන් කිසිදු ඵලක් නැහැ. අපි ඊට සහභාගි නොවන බව අග්‍රාමාත්‍යවරයාට ලිඛිතව දැනුම් දෙනවා. අනික් පාර්ලිමේන්තුවත් සෙල්ලම් තමයි. හැබැයි ඒකට නීත්‍යානුකූල බලයක් තිබෙනවා. අරලියගහ මන්දිරයට 225 එකතු කරගෙන යාලුයි අපි යාලුයි කිව්වාට නීත්‍යානුකූල හෝ ව්‍යවස්ථානුකූල කිසිදු බලයක් නැති දේශපාලන ගුණ්ඩුවලට ජනතා විමුක්ති පෙරමුණ අහු වෙන්න සූදානම් නැති බව අපි මේ අවස්ථාවේ කියන්න ඕනෑ.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරකට පත්වී තිබෙනවා. ජනතාව විශාල පීඩාවකට මුහුණදී තිබෙනවා. මුලු ආර්ථික දේහයම කඩා වැටෙමින් තිබෙනවා. මේ මොහොතේදී ආණ්ඩුවක් ලෙස ක්‍රියා කළ යුතු අවම තත්වයන් යටතේවත් ක්‍රියා කරන්න සූදානම් නැති බව ඔප්පු කරමින් තිබෙනවා. පහුගිය දවස්වල සැමන්, පරිප්පු මිල අඩුකර සීනිවලට පාලන මිලක් නියම කරන බව කීවත් ඒ කිසිවක් ක්‍රියාත්මක වෙන් නේ නැහැ. ලෝක වෙළඳපොළේ බොර තෙල් බැරල් එකක් ඩොලර් 130 ඉක්මවා ගිය අවස්ථාවේ අපේ රටේ පෙට්‍රල් ලීටරය රු. 137කටත් ඩීසල් ලීටරය රු. 104කටත් මිල කළා. අද බොර තෙල් බැරල් එකක් ඩොලර් 10ට වඩා අඩුවී තිබෙනවා. ඩොලර් 130 බොර තෙල් බැරලයට අදාල ඉන්ධන මිලම ජනතාව අදත් ගෙවිය යුතුද? ජනතාවට ලබාදිය හැකි, ලබාදිය යුතු සහනයන් පවා ලබානොදී ආණ්ඩුව යටිමඩි ගහනවා. අයි.ඕ.සී. සමාගම විශාල ලාභයක් ලබනවා.

අපි පොදු ජනතාවගෙන් විමසන්නේ මෙවැනි ව්‍යසනයකදී පවා තමන්ගේ සාහසික බල උවමනා වෙනුවන් මළමිනී මතින් හෝ බලය ඩැහැගන්න උත්සාහකරන, සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශවලට මූලික අවශ්‍යතාවයන් පවා ලබාදෙන්න බැරි, ව්‍යසනයේදී පවා නීතිය, ව්‍යවස්ථාව ආරක්‍ෂා කරන්න සූදානම් නැති උද්දච්ඡ, තක්කඩි හැසිරීමක් තිබෙන පාලක කණ්ඩායම් අපේ රටට අවශ්‍යද? අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ මාස දෙකක කාලය ඉතා හොඳින් අධ්‍යයනය කරමු. ඕනෑවටත් වඩා වැඩියෙන් මේ කාලය තුළ අපට උගන්වා තිබෙන පාඩම් ජනතාව අතරට ගෙනයමු. අපි හැම දෙනාම එක තැනකට ආ යුතු අවස්ථාවක් උදාවී තිබෙනවා. විවිධ ක්‍ෂේත්‍රවල ජනතාව අත්හැරපු පාලකයන් වෙනුවට සියලුදෙනා ගැන හිතන කරන, සාධාරණත්වය, සමානාත්මතාවය, නීතිගරුකභාවය, ප්‍රජාතන්ත්‍රවාදය, සුරක්‍ෂිත කරන්නාවූ පාලනක් වෙනුවෙන් පෙළගැසිය යුතුව තිබෙනවා. මේ සුවිශේෂී මැයි දිනයේදී පවා අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අවුරුදු 72ක් ගෙන ගිය මේ පාලකයන්ගේ වියගසින් ගැළවී පොදුජනතාවගේ අයිතීන්, පොදු ජනතාවගේ ජයග්‍රහණ වෙනුවෙන් නව බලවේගයක් වෙත එකතු වෙමු. ඒ වෙනුවෙන් ක්‍රියා කරමු කියලා හැම දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.”

Facebook
Twitter
LinkedIn