ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින පණිවුඩය

ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින පණිවුඩය

ජාත්‍යන්තර කම්කරු දිනය සමරන මේ මොහොතේ ලංකාවේ තත්වයද ඉතා බරපතල බවත් පසුගිය කාලයක් තිස්සේ වර්ධනය වෙමින් ආ ලාංකේය සමාජ ආර්ථික දේශපාලන අර්බුදය කොරෝනා වසංගත තත්වය තුළ තවත් වර්ධනය වෙමින් ඇති බවත් පාලකයින්ගේ නොහැකියාව, අසමත්කම, ඔවුන්ගේ හිතුවක්කාරී අත්තනෝමතික ක්‍රියාකාරිත්වය හා උද්දච්ඡකම පිළිබඳ කදිම නිදසුන් කොරෝනා ව්‍යසනයේදී ඔවුන් හැසිරෙන ආකාරය මගින් පෙන්වා දී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණ සිය මැයි දින පණිවුඩය මගින් පෙන්වා දෙයි.

එම පණිවුඩය සම්පූර්ණයෙන් පහින් පළ වේ…

“1886දී පැය අටක වැඩ දිනයක් ඉල්ලා චිකාගෝ නුවර කම්කරුවන් කළ අරගලයත් එම අයිතිය දිනා ගැනීම වෙනුවෙන් දිවි පිදූ කම්කරු නායකයන් සිහිපත් කිරීම සඳහාත් පවත්වනු ලබන ජාත්‍යන්තර කම්කරු දිනය මැයි 01ට යෙදී තිබේ. මැයි පළවැනිදා යනු ලොව පුරා කම්කරු ජනතාව ඇතුලු වැඩ කරන ජනතාව තම සටන්කාමීත්වය විදහා දක්වන, අයිතීන් වෙනුවෙන් හඬ නගන, සිය ජහග්‍රහණ සමරන හා අනාගත ගමන් මග සකස් කර ගන්නා දිනය වේ.

එහෙත් 2020 ලෝක කම්කරු දිනය සැමරීමට ලොව පුරා මෙන්ම ලංකාවේද වැඩ කරන ජනතාවට සිදුව ඇත්තේ ලොව පුරා පැතිරී යන කොවිඞ් 19 මාරාන්තික වසංගත තත්වය තුළය. එබැවින් වැලැක්විය නොහැකි සීමාකම්වලට යටත්ව මැයි දිනය සැමරීමට අප කාටත් සිදුව තිබේ. මෙහිදී පළමුවෙන්ම ලොව පුරාම කොරෝනා වසංගතයට එරෙහිව සටන් වදින සියලු දෙනාටත්, ඉන් පීඩාවට පත්වූවන්ටත් එසේම මේ ව්‍යසනකාරී තත්වය තුළ සීමාකම්වලට යටත්ව පවා ජාත්‍යන්තර කම්කරු දිනය සමරන ලොව පුරා සියලුම ජනතාවටත් ජනතා විමුක්ති පෙරමුණ සිය සහෝදරාත්මක සහයෝගය පළකර සිටියි.

චිකාගෝ අරගලයෙන් වසර 134කට පසු එය සමරන මේ අවස්ථාවේ අප දකින්නේ කුමක්ද? අධිරාජ්‍යවාදය, ගෝලීය ධනවාදය සිය අසමත්කමත් සිය නොහැකියාවේ නිරුවතත් පෙන්නුම් කරමින් සිටින බවය. විද්‍යාවේ හා තාක්‍ෂණයේ ඉතාම ඉහළ ජයග්‍රහණ අත්පත් කර ගත්තද එම ජයග්‍රහණ මානව සංහතිය ජීවත් කරවීම වෙනුවෙන් යෙදවීමට අධිරාජ්‍යවාදයත් ධනවාදයත් අසමත්ව ඇති බව දැන් හොඳින් පෙන්වා තිබේ. එබැවින් ලෝක ධනවාදයට එරෙහි සමාජවාදය වෙනුවෙන් අරගලය වෙන කවරදාටත්  වඩා අද අත්‍යවශ්‍ය කරුණක් වී තිබේ.

අනෙක් අතට ජාත්‍යන්තර කම්කරු දිනය සමරන මේ මොහොතේ ලංකාවේ තත්වයද ඉතා බරපතලය. පසුගිය කාලයක් තිස්සේ වර්ධනය වෙමින් ආ ලාංකේය සමාජ ආර්ථික දේශපාලන අර්බුදය කොරෝනා වසංගත තත්වය තුළ තවත් වර්ධනය වෙමින් තිබේ. පාලකයින්ගේ නොහැකියාව, අසමත්කම, ඔවුන්ගේ හිතුවක්කාරී අත්තනෝමතික ක්‍රියාකාරිත්වය හා උද්දච්ඡකම පිළිබඳ කදිම නිදසුන් කොරෝනා ව්‍යසනයේදී ඔවුන් හැසිරෙන ආකාරය මගින් පෙන්වා දී තිබේ.

ජනාධිපතිවරයා ඇතුලු ලංකාවේ පාලක කල්ලිය මේ අර්බුදය තුළ මතුව ඇති ගැටලු විසඳීමට අසමත්ව සිටින බව ඉතා පැහැදිලිය.

■ කොරෝනා රට තුළ ව්‍යාප්ත වීම වැලැක්වීමට හොඳින් ඉඩකඩ තිබියදී එය වැලැක්වීමට අසමත් වීම.

■ ඉන් පසු කොරෝනා පැතිරීම යම් තරමකට පාලනය වෙමින් තිබියදී හදිසි මැතිවරණ න්‍යාය පත්‍රයක් වෙනුවෙන් සිදුකළ සමහර වැරදි ලිහිල්කරණයන් නිසා රෝගය යළි පැතිරීම වැඩි වීම.

■ මෙම ව්‍යසනය තුළ රැකියා හා ආදායම් මාර්ග අහිමි වූ සියලු දෙනාට ලබා දිය යුතු අවම සහන හෝ ලබාදීමට අසමත් වීම හා  ඒවා නොසලකා හැරීම.

■ අඩු ආදායම්ලාභීන්ට ලබාදීමට තීරණය කළ රු. 5000 සහන මුදල පවා මැතිවරණය හා සම්බන්ධ කොට ඡන්ද අල්ලසක් බවට පත්කිරීම නිසා එම සහනය ලැබිය යුතු බොහෝ දෙනෙකුට එය නොලැබීම.

■ කොරෝනා රෝගය පැතිරෙන තත්වය තුළ පවා රට තුළ ජාතිවාදය පැතිරවීමට ඉඩ දීම හා එය වැලැක්වීමට කටයුතු නොකිරීම.

■ කොරෝනා ආසාධිතයින් අපරාධකරුවන් සේ සලකන ලෙස හා රෝගීන් හා ඔවුන්ගේ පවුල්වල අයගේ මූලික මානව හිමිකම් පවා නොසලකා කටයුතු කිරීම. එහිදී රෝගය පාලනය කිරීමට ගොස් එය වැළඳුණු හමුදා සොල්දාදුවන්ට පවා සමාජ විරෝධයක් එන ලෙස කටයුතු කිරීමට ජනමාධ්‍යවලට ඉඩ හැරීම.

■ කොරෝනා තත්වය තුළ නීති නොසලකමින් විරුද්ධ මත යටපත් කොට ආණ්ඩුව විවේචනය කරන්නන් දඩයම් කරමින් ව්‍යවස්ථාව පවා නොලසකමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී හිතුවක්කාරී හා මර්දනකාරී පාලනයකට රට ඇදගෙන යාම.

ආදිය මගින් ආණ්ඩුව සිය සැබෑ තත්වය පෙන්වා තිබේ.

මෙයින් තහවුරු වන්නේ ආණ්ඩුව එය වටා සිටින බලයට කෑදර විවිධ කණ්ඩායමුත් ආණ්ඩුවට හිතවත් ජනමාධ්‍යයත් යොදා ගනිමින් මුළුමනින්ම ජනතාව නොමග යවමින් කොරෝනා පැරදවීම වෙනුවට ඡන්දය පවත්වා බලය ගැනීමේ න්‍යාය පත්‍රයක් ක්‍රියාවට නගමින් සිටින බවය. එබැවින් කොරෝනා පැරදවීමට සටන් වදින අතරම ආණ්ඩුවේ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී මානව විරෝධී හැසිරීමද පැරදවිය යුතු යැයි අපි සිතමු.

දැන් පවතින අර්බුදකාරී තත්වය තුළ මේ වන විටත් රැකියා අහිමි වීමේ අවදානමට මුහුණ දී සිටින වැටුප් කප්පාදුවට මුහුණ දී සිටින විශේෂයෙන් පෞද්ගලික අංශය, අවිධිමත් රැකියාවල නියුතු අය ඇතුලු සියලු වැඩකරන ජනතාවටත් ගොවි ජනතාව හා ධීවර ජනතාව ප්‍රමුඛ සියලු දෙනාටත් තම අයිතීන් වෙනුවෙන් අරගල කිරීමට බල කරමින් තිබේ.

පසුගිය කාලයේ වතු කම්කරු ජනතාවට ලබා දෙන බවට පොරොන්දු වූ දිනකට රුපියල් 1000ක වැටුපද කොරෝනා අස්සේම ආණ්ඩුව අමතක කර තිබේ. ඊට අමතරව වතු කම්කරුවන් සඳහා සහන ලබා දීමද හොඳින් සිදු වන්නේ නැත.

එසේම අධ්‍යාපනයේ අයිතීන් වෙනුවෙන් සිසුන් හා  දෙමාපියන් ඉදිරිපිටද අරගලයක් තිබේ. පොදුවේ ගත්කල පීඩාවට පත් සියලු දෙනා ඉදිරියේ තම අයිතීන් දිනා ගැනීමේ අරගලයක් පවතින බව විශ්වාස කරන අප මෙම මැයි දිනයේදී එකී අරගලය වෙනුවෙන් පෙරට  එන ලෙසත්, එක්ව සටන් වැදීමට සූදානම් වන ලෙසත් ඉල්ලා සිටිමු. ඒ සඳහා දැනුවත්ව සංවිධානය වන ලෙසත් ඉල්ලා සිටිමු.

එසේම ලොව පුරා අධිරාජ්‍යවාදය හා ධනවාදය අරබුදයට ගොස් එහි අසමත්බව පෙන්වා තිබෙන මේ මොහොතේ ධනවාදය පරදා නව සමාජවාදී සමාජයක් වෙනුවෙන් සටන් වැදිය යුතු බවත් සංවිධානය විය යුතු බවත් විශ්වාස කරන අපි ඒ වෙනුවෙන් අත්වැල් බැඳ ගන්නා ලෙසත් ලාංකේය වැඩ කරන ජනතාව ඇතුලු සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

ලෝක කම්කරු දිනය දිගුකල් දිනේවා

ජනතා විමුක්ති පෙරමුණ

2020 මැයි 01”

Facebook
Twitter
LinkedIn