භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය අහිමි කරන්න පොලිස්පතිට බලය දුන්නේ කවුද?

භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය අහිමි කරන්න පොලිස්පතිට බලය දුන්නේ කවුද?

කොරෝනා වසංගත තත්වය මැඬපැවැත්වීමට මුවාවෙන් භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය අහිමි කිරීමට ඉඩදිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා අවධාරණය කරයි.

අනුර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (12) සමාජ මාධ්‍ය ඔස්සේ මාධ්‍ය අමතනි.

“මෙම වසංගත තත්වය අපි අවසන් කළ යුතු වන්නේ මෙතෙක් මේ රටේ ජනතාව දිනාගන්නා ලද සියලු දේ අහිමි කරගනිමින් නොවේ. අප දන්නවා පොලිස්පතිවරයා විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය උල්ලංඝනය වන පරිදි. අපි දන්නෙ නැහැ පොලිස්පතිවරයාට එවැනි නියෝගයක් නිකුත් කිරීමේ බලය දුන්නෙ කවරෙක්ද කියලා. කවර පනතකින්ද, කවර රෙගුලාසිවලින්ද කියලා පොලිස්පතිවරයා විසින් රටට පැහැදිලි කළ යුතුව තිබෙනවා.

මෙවැනි වසංගත තත්වයක් හමුවේ අසත්‍ය තොරතුරු වාර්තා වීමත් වෛරී තොරතුරු ප්‍රකාශනය වීමත් වැළැක්වීම සඳහා කටයුතු කළ යුතුයි. ඒ පිළිබඳ විවාදයක් නැහැ, නමුත් ඒ වෙනුවට, වෛරීය ප්‍රකාශන වැළැක්වීමට කටයුතු කරනවා වෙනුවට, අසත්‍ය ප්‍රකාශන වැළැක්වීම සඳහා කටයුතු කරනවා වෙනුවට, තමන් තෝරාගන්නා ලද කණ්ඩායම් දඩයම් කිරීම සඳහා මෙම තත්වය උපයෝගී කරගෙන තිබෙනවා නම් ඒක ඉතාමත් අහිතකර තත්වයක්.

අපි දැක තිබෙනවා රටේ ප්‍රධානතම මාධ්‍ය නාලිකා සමහර අවස්ථාවලදි වෛරීය ප්‍රකාශ කර තිබෙන බව. අපි දැක තිබෙනවා සමහර මාධ්‍ය නාලිකා සහ වෙබ් අඩවි අසත්‍ය ප්‍රකාශ සිදුකර තිබෙන බව. හැබැයි ඒ වෛරීය ප්‍රකාශ හෝ අසත්‍ය ප්‍රකාශ ආණ්ඩුව ගන්නෙ ඒ අසත්‍ය ප්‍රකාශය තමන්ට හිතකරද අහිතකරද කියන සාධකය මත. එම වෛරීය ප්‍රකාශය තමන් ඉන්න දේශපාලන මතවාදයත් එක්ක ගැටෙනවද නැද්ද කියන සාධකය මත ඇරුණුකොට පොදු සමාජයේ කැළබීමක් ඇතිවෙනවද කියන සාධකය මත නොවෙයි.

මේ වනවිටත් වෙබ් අඩවි, සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරිකයින් 07 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් අත් අඩංගුවට අරගෙන තිබෙනවා. එනිසා අපි විශේෂයෙන්ම කියන්නෙ මෙම තත්වය මැඬපැවැත්වීම සඳහා කටයුතු කළයුතු වන්නේ ජනතාව විසින් දිනාගෙන තිබෙන භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය වල් වැදීමට ඉඩ දීමෙන් නොවෙයි” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

Facebook
Twitter
LinkedIn