මෙරට හෙද නිලධාරීනියන් 06 දෙනක් බෙලෝරුසියාවේ හිරවෙලා – ලංකාවට ගෙන්වා ගන්න වහාම කටයුතු කරන්න

මෙරට හෙද නිලධාරීනියන් 06 දෙනක් බෙලෝරුසියාවේ හිරවෙලා – ලංකාවට ගෙන්වා ගන්න වහාම කටයුතු කරන්න

අධ්‍යාපන පුහුණුවක් සඳහා බෙලෝරුසියාවට ගොස් පුහුණුව නිම කර ශ‍්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින හෙදි නිළධාරීන් 06 දෙනකු ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට මැදිහත් වන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා හෙද සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

සමස්ත ලංකා හෙද සංගමයේ ප‍්‍රධාන ලේකම් එච්.එම්.එස්.බී මැදවත්ත මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම ලිපිය පහතින් පල වේ.

“2020. 04. 12

අති ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,

ජනාධිපති කාර්යාලය,

ගාලූ මවු දොර,

කොළඹ 01.

ගරු ජනාධිපතිතුමනි,

අධ්‍යාපන පුහුණුවකට බෙලරුසියාවට ගොස් පුහුණුව නිම කර ශ‍්‍රී ලංකා වට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින හෙදි නිළධාරීන් 06 දෙනකු ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට මැදිහත් වන ලෙස කරනු ලබන ඉල්ලීමයි.

බෙලරුසියාවේ (Vitebsk State Medical university) සරසවියේ අධ්‍යාපන පාඨමාලාවක් හැදෑරීමට ගොස් එය නිමකල ශ‍්‍රී ලාංකික හෙදි නිළධාරීන් 06 දෙනකු ලංකාව බලා ඒමට කටයුතු සූදානම් කර තිබුණද 2020.03.25 දින සිට බෙලරුසියාවේ ප‍්‍රධාන ගුවන් තොටුපල #කෝවිඩි-19 වසංගතය නිසා වසා දැමීම හේතුවෙන් ඔවුන් ශ‍්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මහත් දුෂ්කරතාවකට පත්ව සිටී. මොවුන් සියළු දෙනාම කුඩා දරුවන් සිටින මව්වරුන් වන අතර ඇතිවී තිබෙන තත්වය තුල ඔවුන්ගේ පව්ල් වල පිරිස්ද මහත් අසරණභාවයකට පත්ව සිටී. ඔවුන් ලංකාවට ගෙන්වා ගැනීමට මැදිහත් වන ලෙස ඔබතුමාගෙන් ඉල්ලීමක් කර තිබෙන බවද අප වෙත දැන ගන්නට ලැබී ඇත.

මේ වන විට තුර්කියේ සිටින ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් මෙරටට රැගෙන ඒම සදහා ගුවන් යානයක් පිටත්කර හැරීමට කටයුතු කරන බවට වු තොරතුරක් පල වී තිබේ. එය එලෙස සිදුවන්නේ නම් මෙම නිළධාරීන් හට බෙලරුසියාවේ සිට තුර්කිය බලා පැමින එම ගුවන් යානයට සම්බන්ධවීමට කටයුතු කළ හැකි බව ඔවුන් පවසා සිටී. මෙම හෙදියන් පිරිස ලංකාවට ගෙන්වා ගැනීම මේ මොහොතේ කොරෝනා වසංගතය මැඩපැවැත්වීම වෙනුවෙන් ඔබතුමා ඇතුළු රජය විසින් ගෙන යන වැඩපිළිවෙලටද මහත් දායකත්වයක් බව අපගේ අදහසයි. එසේම මේ වන විට විදේශ රටවල් ගණනාවක සිටින ශ‍්‍රී ලාංකික හෙද නිළධාරීන් පිරිසක් ද මෙරටට පැමිණීමට කැමැත්තෙන් සිටී. ඔවුන්වද ගෙන්වා ගැනීමට කටයුතු කර දෙන්නේ නම් එය ඔවුන්ටත් රටටත් මහත් යහපතක් ගෙන දෙන බව අපගේ අදහසයි.

එබැවින් මේ පිළිබදව ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කර මෙම හෙද නිළධාරීන් පිරිස මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය මානුෂීය මැදිහත්වීම සිදුකර දෙනමෙන් ගෞරව බහුමානයෙන් යුතුව ඉල්ලා සටිමු.

ස්තුතියි.

මෙයට,

එච්.එම්.එස්.බී. මැදවත්ත

ප‍්‍රධාන ලේකම්.

පිටපත – සෞඛ්‍ය ඇමතිනී,පවිත‍්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය.(අ.ක.ස)

සෞඛ්‍ය ලේකම්තුමිය.(අ.ක.ස)”

Facebook
Twitter
LinkedIn