බි‍්‍රතාන්‍ය පුද්ගලික විශ්වවිද්‍යාලය ආරම්භ කරයි.

මීරිගම ඉදිකිරීමට නියමිත බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලය පිහිටවීමට අදාල සමාරම්භක උත්සවය ඊයේ (16) පැවැත්වූ බව වාර්තා වේ. එ

ම විශ්ව විද්‍යාලය ආරම්භ කිරීම සඳහා චාල්ස් කුමරු සහභාගී වීමට සැලසුම් කර තිබූ අතර ඒ සඳහා එල්ල වූ විරෝධය හමුවේ චාල්ස් කුමරු සහභාගී නොවූවද එම ව්‍යාපෘතිය නොනවත්වා ඉදිරියට ගෙන යන බව සමාජවාදී ශිෂ්‍ය සංගමය චෝදනා කරයි. අද(17) දින සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතාගේ අත්සනින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් වේ.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් කාර්යයාලය තුලදී හොර රහසේ ආරම්භ කරන ලද පුද්ගලික විශ්වවිද්‍යාලයට අපගේ විරෝධය

බි‍්‍රතාන්‍යය පුද්ගලික විශ්වවිද්‍යාලයක් වන සෙන්ට‍්‍රල් ලැන්කෂයර් විශ්වවිද්‍යාලයට අනුබද්ධ ශාඛාවක් මීරීගම අපනයන සැකසුම් කලාපය තුල පිහිටුවීමට අදාලව සමාරම්භක උත්සවය ඊයේ (16) බි‍්‍රතාන්‍ය මහ කොමසොරිස් කාර්යයාලයේදී සිදුවිණි. එම අවස්ථාවට බි‍්‍රතාන්‍ය විදේශ කටයුතු හා පොදු රාජ්‍ය මණ්ඩලීය සබඳතා පිළිබඳ රාජ්‍ය ලේකම් විලියම් හේග් මහතා සහ එස්. බී. දිසානායක උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ද සහභාගී වි තිබිණි. මේ සඳහා බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු සම්බන්ධ වන බව පෙර සඳහන් කර තිබුණද මෙරට ශිෂ්‍ය ව්‍යාපාරයේත්, ආචාර්යවරුන්ගේත් විරෝධය හමුවේ එය වෙනස් කර ජනතාවට හොර රහසේ මෙසේ ආරම්භය සනිටුහන් කර ඇත.

මෙම විශ්වවිද්‍යාලය පිහිටුවීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයා මැදිහත්වී ගිවිසුම් අත්සන් කර තිබුණේ පසුගිය වසරේ දෙසැම්බර් මස 13 වන දිනයි. එදින පටන්ම මෙම ඉදිකිරීමට එරෙහිව ශිෂ්‍ය ප‍්‍රජාවත්, විශ්වවිද්‍යාල ආචාර්යවරුත් ඇතුලත් බොහොමයකගේ විරෝධතාව ප‍්‍රකාශ කෙරිණි. එහෙත් මෙරට අධිරාජ්‍යගැති ආණ්ඩුව තීරණය කලේ ලාංකීය ජනතාවගේ එම විරෝධතාවයන්ට ඇහුන්කම්දීම නොව තවදුරටත් අදාල විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම වෙනුවෙන් බි‍්‍රතාන්‍ය සමාගමට අවශ්‍ය දොලපිදේණි ලබා දීමයි.

ඒ අනුව අධ්‍යාපනය සේල් දැමීම අරමුණු කරගත් ‘අධ්‍යාපන වෙළඳ කලාප’ 6ක් ප‍්‍රථමයෙන්ම වෙන්කරනු ලැබිණි. ඉන් පසු එහි පළමු කලාපයේ පළමු පුද්ගලික විශ්වවිද්‍යාලය ඉදි කරීම වෙනුවෙන් මීරිගම ප‍්‍රදේශයේ අක්කර 120ක භූමි ප‍්‍රදේශයක් වසර 99ක් වෙනුවෙන් බදු දෙනු ලැබිණි. එසේම කැසිනෝ ඉදිකිරීම වෙනුවෙන් ලබා දුන්නාක් මෙන්ම විශේෂ බදු සහනද ලබා දෙනු ලැබිණි. ඒ යටතේ මෙම ව්‍යාපෘතියට වසර පහළොවක් සඳහා සම්පූර්ණ බදු නිදහස් කාලයක් ලබාදී තිබේ. එසේම ව්‍යාපෘතියේ විදේශීය සේවකයින් විසිදෙනෙකු සඳහා වසර පහක කාලයක් උපයන විට ගෙවීමේ බදු නිදහසක්ද ප‍්‍රාග්ධන වියදම සඳහා ලබාගත් විදේශ ණය සඳහා ගෙවන පොලිය, උපදේශකයන්ට ගෙවන තාක්‍ෂණික ගාස්තු ආදී ගෙවීම් කිහිපයක්ද රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කර ඇති අතර වසර දහයක කාලයක් විශ්වවිද්‍යාලයට අදාළ භාණ්ඩ ආනයනයේදී හා දේශීය මිලදී ගැනීමේදී එකතු කළ අගය මත බදු (වැට්* නිදහසක් ලබා දී ඇත. ඒ ආකාරයටම විශ්වවිද්‍යාලය ඉදිකරන වසර දහයක කාලයක් සෘජුවම හෝ කොන්ත‍්‍රාත්කරුවන් මගින් කරන ආනයනයන් සඳහා වරාය හා ගුවන් තොටුපල සංවර්ධන අයකිරීම් වලින් ද රේගු බදුවලින්ද සම්පූර්ණයෙන්ම නිදහස් කර ඇත.

දකුණු ආසියාවේ පළමු වතාවට බි‍්‍රතාන්‍ය පුද්ගලික විශ්වවිද්‍යාලයක් ඉදිකරන රට බවට ලංකාව පත්වූයේ එසේය. එයින් නොනැවතී අධ්‍යාපන පුද්ගලීකරණ ක‍්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යෑමට ආණ්ඩුව සියලු කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව බලන විට දැන් එස්. බී. දිසානායක ඇමතිවරයා මෙරට නිදහස් අධ්‍යාපනය වළ දමා එහි සොහොන්කොත ඉදිකිරීම අරඹා ඇත.

කැසිනෝ ආර්ථිකයකට රටේ අධ්‍යාපනය අදාල නැත. ඒ අනුව රාජපක්‍ෂ ආණ්ඩුවේ අධ්‍යාපන පුද්ගලීකරණ වැඩ පිළිවෙල යටතේ එය මුදලට ඔට්ටුදැමීම කැසිනෝගසා පුරුද්දක් ඇති උසස් අධ්‍යාපන අමාත්‍යවරයා බාර ගෙන ඇත. එහෙත් සෑම අතින්ම පීඩාවට පත්ව සිටින ජනතාවගේ එකම අනාගත අපේක්‍ෂාව වී තිබුණේ නිදහස් අධ්‍යාපනයයි. ඒ අවසන් බලාපොරොත්තුවද වර්තමාන ආණ්ඩුව විසින් විනාශ කර දමමින් තිබේ.

පොදු රාජ්‍ය මණ්ඩලයේ ඔටුන්න රාජපක්‍ෂ ජනාධිපතිවරයාට ලබා ගැනීම වෙනුවෙන් අදාල රටවල් සමුළුවට ගෙන්වා ගැනීම සඳහා  ඕස්ටේ‍්‍රලියාවට කැසිනෝ ව්‍යාපාරයත්, සීනි කර්මාන්තය පාකිස්ථානයටත් ලෙස රටවල් ගණනාවකටම දොළ පිදේණි දෙනු ලැබිණි. බි‍්‍රතාන්‍යට මෙම පුද්ගලික විශ්වවිද්‍යාලය ඉදිකිරීමට ඉඩදීමත් එවැන්නකි. රටේ නිදහස් අධ්‍යාපනයට හානි කරමින් මෙවැනි

ව්‍යාපෘති ඇරඹීමට එරෙහිව අපගේ විරෝධය ශ‍්‍රී ලංකා රජයටත්, එමෙන්ම බි‍්‍රතාන්‍ය රජයටත් ප‍්‍රකාශ කර සිටිමු. එසේම අධ්‍යාපන වෙළඳ කලාප පිහිටුවමින් ආණ්ඩුව ගෙනයන මේ වැඩපිළිවෙලට එරෙහි වෙමින් එය අහෝසි කරගන්නා තුරු අරගල කිරීමටත්, ඒ හරහා සැබෑ නිදහස් අධ්‍යාපනයක් යළි දිනාගැනීමටත් එක්වන ලෙස සමස්ත ජනතාවටම ආරාධනා කර සිටිමු.

නලින්ද ජයතිස්ස

ජාතික සංවිධායක ‍

 

සමාජවාදී ශිෂ්‍ය සංගමය

Facebook
Twitter
LinkedIn