ඔළු නැති මිනිසුන්ගේ හෙල්මට් නීතිය

මනුෂ්‍ය වර්ගයා සාකල්‍යයෙන්ම විෂමය.  දැනුවත්ව ද වරදේ බැඳේ.  නොදැනුවත්ව ද වරදේ බැඳේ. පෘතුගීසි, ලන්දේසි, ඉංගී‍්‍රසී කාලකතාන්දරයන්ට සහ කාලත‍්‍රයට අනුලෝම ප‍්‍රතිලෝම වශයෙන් ලංකාවේ විවිධ වූත් නීතිරීති පැවතිණි. දැනුදුද නීති එමටය.  ඒවා කි‍්‍රයාත්මක ද වන්නේය. ඒවා කාලානුරූපී නොවන කල සංශෝධනය කරති. ඒවාද යළි කි‍්‍රයාත්මක කරනුයේ ඒ ඒ සමාජ මට්ටම් අනුව ඒ ඒ අයට ඒ ඒ හැන්දෙන් බෙදමිනි.

මෝටර් බයිසිකල් පදවන්නන් පළඳින සම්පූර්ණ මුව ආවරණය සහිත හිස්වැසුම් ^FULL FACE HELMET& භාවිතය තහනම් කිරීමද මන්දබුද්ධිධරයන් ගත් තවත් නීතියකි. සැබවින්ම එය හිසේ රුදාවට කොට්ටය මාරු කිරීමක් වැනිය.

මෙවන් වූ නීතියක් රට තුළ ස්ථාපිත කිරිමට හේතුභූත වූයේ රන්මාල කඩමින්, නගර හා ගම් සිසාරා වසංගතයක් සේ පැතිර ගිය සොරුන් මෙල්ල කිරිමටය. රටක සොරුන් වංචනිකයන් බිහිවන්නේ ඇයිද යන්න යථාර්ථය අවබෝධ වන ශිෂ්ඨ මිනිසුන්ට ප‍්‍රහේලිකාවක් නොවේ. එය කෙසේ වුවද, සම්පූර්ණ මුව ආවරණය කරන ලද හිස්වැසුම් තහනම් කළ සැණින්, නීති කි‍්‍රයාත්මක කළ සැණින්, රන්මාල කඩන සොරුන් වඳවී සිරිලංකාවෙන් ධූරීභූත වී යන්නේ නම්, මෙලක ආශ්චර්යවත් රටක් වන්නේය. එසේ වන්නේ කවරදාක ද?

හිමිදිරි උදෑසන, දහවල සේම සන්ධ්‍යාභාගයේ කාර්ය බහුල වේලාවන්හිදී නගරබදව පවතින වාහන තදබදයත්, පොදු ප‍්‍රවාහන සේවයේ පවතින මන්දගාමී බවත් අත්නොවිඳින සාමාන්‍ය වැසියෙක් නොවන තරම්ය.

ඇත්නම්, ඒ … ෆිනෑන්ස් සමාගම් පොසත් කරමින් උජාරු පාන්ට කාර්, වෑන් පාවිච්චි කරන උදවිය හෝ ප‍්‍රභූ පැලැන්තියේ පිරිස් හෝ නීති හදන පුස්සෝ පමණකි.

ශී‍්‍ර ලංකාවේ එක් නගරයක දෛනිකව ධාවනය කෙරෙන මෝටර් බයිසිකල් සංඛ්‍යාත්මකව ලක්ෂයද ඉක්මවා තිබේ.  එසේ නම් රට පුරා මෝටර් බයිසිකල් ලක්ෂ විසිහතරකට වැඩි සංඛ්‍යාවක් දිනකට ධානවනය කෙරේ.  ඔවුහු සිය මොටර් බයිසිකලය ධාවනය කරනු ඇත්තේ විනෝදයට හෝ කාන්සිය මකාදැමීමට නොවේ. හුදෙක් සිය කුටුම්බ කි‍්‍රයාකාරකම් හෝ අත්‍යවශ්‍ය සේවා හෝ කාර්යය බහුලත්වය මත කඩිනම් සේවා හෝ නිසා විය යුතුය.

මේ මෝටර් බයිසිකල් හිමිකරුවන් හෝ ධාවකයන් අතුරින් සියයට පස් දෙනෙකු රන්මාල කඩන සොරුන් යැයි උපකල්පනය කළහොත්, සාමාන්‍ය ජීවිතයක් ගතකරන මිනිසුන් ලක්ෂ විසිපහක් අතරේ සොරුන් එක්ලක්ෂ විසිපන්දහසකි.

බරපතලම තත්ත්වය, යථෝක්ත විසිහතර ලක්ෂයක මෝටර් බයිසිකල් ධාවකයන්ගේ අවදානම පිළිබඳ වගකීම සුබ අනාගතයක් අපේක්ෂිත රජයකට ගත හැකිද යන්න විමසීමය.

අවදානම යනු මහමගට බට මෝටර් බයිසිකලය පදවන්නාගේ ජීවිතය පිළිබඳව හදිසි අනතුරකට ලක්වීමට ඇති ප‍්‍රවණතාවද ඉහළය. ඒ පදවන්නාගේ නොසැලකිල්ල හෝ සෙසු වාහන රියැදුරන්ගේ හෝ දුර්වලතාවල ඵලයක් විය හැකිය.

කුමක් වුවද, හදිසි අනතුරකට ලක්වන මෝටර් සයිකල් කරුවෙකු විසිවී හෝ පෙරළී හෝ යමක ගැටීම හෝ නිසා මූලිකව සිදුවන්නේ, යටිහනුව ගැටෙන ස්වභාවයේ තරම අනුව, තුවාලය හෝ බිඳීයෑම තීරණය  වන අතර ඊට ප‍්‍රතිකාර කිරීමේ ස්වභාවයද තීරණය වේ. මුව ආවරණය කර නැති සියලූ මෝටර් බයිසිකල් පදවන්නන් එම අවදානමේ පසුවෙති.

ඒ පිළිබඳව සාක්ෂි දරනුයේ විශ්වවිද්‍යාලයීය දන්ත වෛද්‍ය පීඨ සහ පේරාදෙණිය දන්ත හා මුඛ හනුක ශල්‍ය රෝහලයි.

වෛද්‍ය නිර්දේශ අනුව, මෝටර් බයිසිකල් අනතුරකදී හානියට පත්වන යටිහනුව සහිත ප‍්‍රදේශය ^MANDIBULAR FRACTURE& ශල්‍ය කර්මයක් මගින් ප‍්‍රකෘති තත්ත්වයට පත්කර ගැනීමට අවැසි මූලික උපකරණ වන ටයිටේනියම් ප්ලේට් හෝ ස්ටේන්ලස් ප්ලේට්, ස්කෲ, බර්ස් වැනි දෑ රජයේ කිසිදු රෝහලකින් ලබාගත හැකි නොවේ. අනතුරට පත්වන පුද්ගලයා සිය යටි හනුව යථා තත්ත්වයට පත්කර ගැනීම පිණිස, එක්ස්රේ පරීක්ෂණ, සී. ටී. ස්කෑන් පරීක්ෂණ, රුධිර සපයා ගැනීම් ඇතුළුව යටකී උපකරණ ශල්‍යාගාරය වෙත සැපයිය යුතුව ඇත. ඊට වැය වන අවම මුදල රුපියල් විසිදහසකි.

එසේ නම්, ඉකුත්දා සිට මුව ආවරණය සහිත හිස්වැසුම් පාවිච්චි නොකරන, නීති රකින මෝටර් බයිසිකල් පදවන්නාගේ බැංකු තැන්පතුවේ රුපියල් විසිදහසක් තැන්පත් කොට තැබිය යුතුවේ. අනතුරක් සිදුවන්නේ කවදාද නොදන්නා බැවිනි.

එය පමණක්ද? MANDIBULAR FRACTURE තත්ත්වයකට පත්වන අයෙකු ශල්‍යකර්මයකට බඳුන්කොට යටිහනුව, දත්, නාසය හෝ ඒ ආශී‍්‍රත අවයව ප‍්‍රකෘති තත්ත්වයට ගෙන ඒම පිණිස වීර්යය ගන්නා ශල්‍ය වෛද්‍යවරු, හෙදියන්, වෛද්‍යවරු, හදිසි ප‍්‍රතිකාර ඒකක ඇතුළු රජයේ රෝහල් සේවය දිනකට මෙවැනි එක් රෝගියෙකු සඳහා වැයකරන අවම පිරිවැය මුදලින් රුපියල් ලක්ෂ එකහමාරකි.

එය අත්‍යවශ්‍ය නොවන පිරිවැයක්ද? අවශ්‍ය පිරිවැයක්ද? ඉහත කී නීති රීතිවල අනිටු ඵලවිපාකයක්ද?

තවද, මෙවැනි අනතුරකට පත්වන පුද්ගලයෙකු ශල්‍යකර්මයෙන් හෝ සෙසු ප‍්‍රතිකාරවලින් අනතුරුව ස්නායු ආබාධ හෝ පෙනහලූ ආබාධ කශේරුකාවේ සුසුම්නාවේ සහ ස්නායු පද්ධතියේ අනතුරු, කන ඇසීමේ දුර්වලතා, මොළය ආශි‍්‍රත විවිධ රෝගී තත්ත්ව ආදී අතුරු ආබාධයන්ට ගොදුරුවීමේ අවධානම සියයට හැටද ඉක්මවා තිබේ.

මෝටර් සයිකල් හිස්වැසුම් වර්ග රැසක් තිබේ.  හිස පමණක් ආවරණය කරන මුව ආවරණය සඳහා ප්ලාස්ටික් වැස්මක් සහිත සම්පූර්ණ මුව ආවරණය සහිත සහ වෙනත් ලෙස ඒවා වර්ග කෙරේ.

වසර 1896 ජූනි මස 26 වැනි දින  ඕස්ටේ‍්‍රලියාවේ දකුණු ප‍්‍රදේශයේ උපත ලැබූ හියුග් විලියම් බෙල්කාන්ස්, 1916 දී එංගලන්තයට ගියේ වෛද්‍ය විද්‍යාව උගෙනීමටය.  ඔහු ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස ලන්ඩන් රෝහලේ සේවය කරමින් සිටියදී රාති‍්‍රයක පැමිණි මෝටර් සයිකල් අනතුරකට ලක්වූවෙකු ශල්‍ය කර්මයකට ලක්කළේය. පෙර, පසු ප‍්‍රතිකාර නිසි පරිදි ලබා දුන්නද හිසට ඇතිව තිබූ බරපතළ තුවාල මත රෝගියා දින හයකට පසුව මිය ගියේ විලියම් බෙල් වෛද්‍යවරයා දෙලොවක අතරමං කරමිනි.

එම සිද්ධියෙන් වික්ෂිප්තව ගිය වෛද්‍ය විලියම් බෙල් කාලයක් පුරා කළ පර්යේෂණ අත්හදා බැලීම් වලින් අනතුරුව, හිස ආරක්ෂා කිරීම පිණිස පැලඳීමට හිස්වැසුම (Helmet) නිපදවීමේ පුරෝගාමියා වූයේය.

අනතුරුව ඔහු ලෝකාර්ථයේ මෝටර් සයිකල් ධාවකයන් වෙත, කියා සිටියේ, ඉල්ලා සිටියේ අනතුරින් මියගිය ටී. ඊ. ලෝරන්ස් මෙන් අකාලයේ මිය පරලොව නොයන ලෙසය.

එතැන් පටන් විකාශය යූ හිස්වැසුම විවිධ හැඩ ගත්තේය. නවීණ පන්නයට උචිත පරිදි විය. අයහපත වන්නේ අජටාකාශගාමීන්ගේ වෙස් ගත් හිස් වැසුම්ය.  අඳුරුකළ ආවරණ සහ නාසය පවා ආවරණය කළ හිස් වැසුම්ය.  එවන් හිස්වැස්ම් පළඳා බැංකු කටයුතු වෙත වෙළෙඳ සැල්වෙත පියමනින්නන් නීතියේ රැහැනට හසුකර ගැනීම කාලෝචිතය. එසේ නොවී ජීවිත ආරක්ෂාව, වුවනෙහි ආරක්ෂාව පිණිස වූ හිසු වැසුම ගලවා දැමීම සුදුසු වන්නේ කෙසේද? හාස්‍යයට කරුණු එමටය.

හිස් වැසුම රහිතව මෝටර් සයිකලය ධාවන කළහොත් පොලිස් දඩය රුපියල් පන්සියයකි. සම්පූර්ණ මුව ආවරණය සහිත හිස් වැසුම පළඳා මෝටර් බයිසිකලය ධාවනය කළහොත් දඩය රුපියල් දෙදහසකි.

නීති සකසන්නා මනුෂ්‍ය සුබසෙත හෝ මිනිස් ජීවිතයක වටිනාකම දන්නා අයෙක්ද යන්න විමසා බැලීමට පෙර, පාසල් ගියේද, හයේ පන්තියේ උගන්වන සෞඛ්‍ය පාඩම හෝ උගත්තේද යන්න විමසා බැලීමය.

පොළොන්නරු යුගයේ, සන්නාහයෙන් සන්නද්ධ වූ යුද භටයන් හිස් වැස්මක් පැළඳ වූයේ යුද සටන්වලදී වක්ත‍්‍රයෙහි හා හිසෙහි ආරක්ෂාව පිණිසය. ඒ කි‍්‍රස්තු වර්ෂ 12 වන සියවසේදීය. පුලතිසිවංශයෙහි සඳහන් මිනුම් නූතන ක‍්‍රමයට දක්වතොත් ග‍්‍රෑම් 295ක බරකින් හා සෙන්ටිමීටර 26ක උසින්ද, සෙන්ටිමීටර 21ක පළලින්ද යුක්ත හිස් වැසුම, පැළඳීමෙන් දෙකන් සහිත හිස ආරක්ෂා වේ.

සෙන්ටිමීටර 15ක තරම් වූ පළලින් හා මිලිමීටර් 0.4ක පමණ ඝනකමින් යුත් යකඩ පතුරකින් හිස් වැස්මේ වටදාරය කේන්ද්‍රීය හරහා ගමන් කරයි. නලලත දෙපස සිට හිස පසුපස මධ්‍යය දක්වා යකඩ පතුර යොදා තිබීමෙන් මිනිස් හිසෙහි අවදානම් ස්ථානවලට පූර්ණ ආරක්ෂාව සැලසේ.

එපමණ අතීතයක මුතුන් මිත්තන්, රාජ්‍යමාත්‍යාදීන්, මති මාත‍්‍රාව පමණක් නොව විජයග‍්‍රහණයන්හිදී පවා සෙසු මානව වර්ගයාගේ සුබ සිද්ධිය පිණිස කටයුතු කර ඇති බැව් ඉතිහාස වංශකතා වලින් මොනවට පැහැදිලි වෙයි.

නවීන තාක්ෂණයෙන් ඔද්දල්වූ වත්මන් නීති ගෙන එන්නවුන් දෙස ඉතිහාසයේ නුවණැත්තෝ බලනු ඇත්තේ හිරිකිතකිනි.

මක්කරමුද? මේඝ ගර්ජනා අසමින් විලිබියෙන් වකුටුව හිඳිමුද?

උපේක්ෂා වීරසේකර

උපුටා ගැනීම දිවයින ඉරිදා සංග්‍රහය

 

Facebook
Twitter
LinkedIn