බොරු දේශප්‍රේමීත්වයක් ගැන කියමින් ජනතාව නොමඟ යවන මේ ආණ්ඩුව ඉතාමත් දුර්දාන්ත වූ රහසිගත ආණ්ඩුවක් බවත්, නවනීදන් පිල්ලේ මහත්මියගේ මුවාවෙන් විදේශ අධිරාජ්‍යවාදීන්ට මෙරටට ඇතුළුවීමට පාවඩ එළන්නේ, පාර කපන්නේ වර්තමාන පාලනය බවත්, ආණ්ඩුව ඊට මතුපිටින් විරෝධය දැක්වුවද රට තුළ සිදුවන සියලුම ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියා සිදුවන්නේ අධිරාජ්‍යවාදීන්ගේ අනුදැනුම අනුව බවත් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා ප්‍රකාශ කරයි.
මේ සම්බන්ධයෙන් ඒ මහතා දිනපතා පුවත් පතකට අදහස් දක්වමින් වැඩිදුරටත් පවසා ඇත්තේ නවනීදන් පිල්ලේ මෙරටට පැමිණියාට මේ රටේ සිදුවන මහජනතාවගේ දැවැන්ත ඉඩම් කොල්ල ගැන, කැසිනෝ සමාගම්වලට ලබාදෙන බදු සහන ගැන, දැවැන්ත දූෂණය, මුදල් නාස්තිය පිළිබඳ ඔවුන්ගේ සාකච්ඡාවට භාජන නොවන බවයි. ඔවුන්ගේ න්‍යාය පත්රයකට අනුව ඔවුන් සාකච්ඡා කරන්නේ ඉතා සුළු කරුණු කිහිපයක් පමණක් බවත් ඔහු පවසයි.
“පසුගිය වසර 10, 15 ගත්තොත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ලෝකයේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට වඩා විදේශ ආර්ථික වුවමනාවන් ඉටුකර ගැනීමේ කාර්යයක නිරතවෙලා සිටිනවා. අද එක්සත් ජාතීන්ගේ සංවිධානය අධිරාජ්‍යවාදීන්ගේ බළල් අතක් බවට පත්වෙලා. දැන් ස්වාධීන මානව හිමිකම් කොමිසමක අවශ්‍යතාවක් පවතිනවා. ශ්‍රී ලංකාව වැනි රටවල ක්‍රියාත්මක වන ඒකාධිපති පාලනය නිසා ඒවා විසඳන මුවාවෙන් අධිරාජ්‍යවාදය රට තුළට මැදිහත්වෙනවා.”









